ඊට වඩා ගොඩක් දේවල් හිතන්න
ගෙදරකට ඕන කරන ගෘහ භාණ්ඩ ගනිද්දි සාමාන්‍යයෙන් වැඩිම මිලක් ගෙවලා අපි ගන්නෙ ලී බඩුයි. ලීබඩු කියන්නෙ සිල්ලර කඩයකට ගිහින්, තියෙන දෙයක් අරන් එනවා වගේ දෙයක් පහසු දෙයක් නෙමෙයි. එහෙම කියන්නෙ ඔබට කොතරම් මිල මුදල් තිබුණත් කිසිම මොහොතක හිතුමතේට මිලදී ගත යුතු දෙයක් නොවෙන නිසායි. මේවා මිලදී ගන්නට කලින් ඔබට හිතන්න සෑහෙන දේවල් ප්‍රමාණයක් තියෙනවා.
මිල
ලී බඩුවල මිල කියන්නෙ අතිශය වැදගත් කාරණයක්. එය ඕනෑම ගෘහ භාණ්ඩයකදී වගේම ලී බඩුවකදීත් සැළකිලිමත් විය යුතු දෙයක්. ඔබ තෝරාගන්නා ගෘහ භාණ්ඩයෙ මිල ඔබට දරන්නට හැකි මිලක් විය යුතුයි. එසේම ඔබ ගෙවන මිලට එම භාණ්ඩයේ ප්‍රයෝජන සහ ගුණාංග වටිනවාද යන්නත් ඔබ සිතිය යුතු වෙනවා. එසේ පෙර නිමි ලී බඩුවක් මිලදී ගැනීම සහ ලී බඩුවක් ඔබේ අවශ්‍යතාවය යටතේ නිමවීම යන ක්‍රම දෙකෙන් ඔබට වාසි කුමක්ද යන්න තීරණය කිරීමත් ඔබ සිදු කළ යුතුයි. අනෙක් අනිවාර්ය සාධකය වන්නේ ලී බඩුව සම්බන්ධයෙන් අදාළ වෙළඳසැල ලබාදෙන වගකීමයි. එහි කල්පැවැත්ම ගැන අදහසක් ගන්නට ඔබට එය ප්‍රයෝජනවත් වේවි.
අවශ්‍යතාවයට සරිලන්න
ලී ගෘහ භාණ්ඩ ඔබේ අවශ්‍යතාවයට සරිලන ආකාරයට සහ ඔබට දරන්න පුළුවන් මිලකට මිලදී ගැනීමත් යෝග්‍යයි. බොහෝදෙනෙකු කෑම මේසයට වැඩි විලාසිතා සහිත පුටු තබා තිබුණත් කෑම මේසය යනු මිනිසුන් සතුටින් ආහාර ගන්නා තැනක් විය යුතු නිසා එහි තබා ඇති පුටු සුවපහසු විය යුතුයි.
ඒ වගේම ඔබට ඇත්තේ කුඩා නිවසක් සහ ඔබේ නිවසේ සිටින්නේ තිදෙනෙකු පමණක් නම් අමුත්තන් පැමිණි කළ ඔවුන්ටද සෑහෙන ලෙසින් හය දෙනෙකුට සරිලන කෑම මේසයක් මිලදීගැනීම ප්‍රයෝජනවත්. පිරිසිදු කරන්නට පහසු ගෘහ භාණ්ඩ තෝරාගැනීමත් ඔබේ ජීවිතයට පහසුවක් වේවි. ඒ වගේම දුටු පමණින් පුටු මිලදී නොගෙන අවශ්‍ය ප්‍රමාණයට සාලයක පුටු තබා තිබීමත් යෝග්‍යය වේ.
විවිධ අවශ්‍යතාවලට
ඔබ ගෘහ භාණ්ඩ වෙනුවෙන් වෙන් කරන මිලට අනුව වැඩි ප්‍රයෝජන ගන්නට නම් ඔබට ඒ ගෘහ භාණ්ඩවලින් වෙනත් ප්‍රයෝජන ලැබෙන සේ භවිත කළ යුතුයි. උදාහරණයක් ලෙස ඔබේ සාලයෙ පැරණි ඇඳක් තැබිය හැකි නම් හදිසි අවස්ථාවකදී කෙටි නින්දකට, ඇලවී රූපවාහිනී නරඹන්නට, නිවසට පැමිණෙන මිතුරන් කිහිපදෙනෙකුට පමණ සුව පහසුව හිඳගන්නට එය ප්‍රයෝජනවත් වේවි.
ඒ වගේම මේ වනවිට වෙළඳපොලේ ඇති ඇකිලිය හැකි ගෘහ භාණ්ඩද එලෙස විවිධ අවශ්‍යතා වෙනුවෙන් තෝරාගත හැකියි. ඔබේ නිවස නිතර දානමානාදිය සිදුකරන තැනක් නම් එයට සරිලන ලෙස එක හා සමාන පුටු මිලදීගෙන තිබීමත් ඔබේ පහසුවට හේතුවණු ඇති.
හිඩැස්
ගෘහ භාණ්ඩ පිරුණු නිවසකට වඩා දකින දකින අත ඉඩ ඇති නිවසක ඔබේ මනසට කොතරම් සුවදායක බවක් ඇති කරනවාද. ඒ නිසාම ඔබේ නිවස ලස්සන වූ පමණින් ගෘහ භාණ්ඩ එක් කරගැනීමෙන් වැළකිය යුතුය. ඔබ පෙර සැලසුම් කර ඔබේ නිවස ඉදිකිරිමේදී හෝ පසුව ඒවා කොන්ක්‍රීට්වලින් සැකසීමෙන් (හිඳගන්නට කුෂන් දැමූ කොන්ක්‍රීට් කන්ඩි, කොන්ක්‍රීට් ඇඳක්) ඔබට මුදලත් ශ්‍රමයත් ඉතිරි කර ගත හැකියි. නමුත් එය බොහෝ දුර දිග බලා සිදු කළ යුතු දෙයක් වන්නේ ඔබට අනවශ්‍ය යැයි හැඟුණු විට කොන්ක්‍රීට් බිඳ දැමීම සුළුපටු යමක් නොවෙන නිසායි.
මිනුම් දෙවරක්
ඔබ මිලදීගන්නා ගෘහ භාණ්ඩයේ මිනුම් නිවැරදිව ලබාගැනීමත් වැදගත්. ගෘහ භාණ්ඩයක් මිලදී ගන්නට ප්‍රථම ඔබේ නිවසේ ඔබ එය ස්ථානගත කරන තැන නිශ්චය කරගත යුතුයි. ඉන්පසු එය තැබීමෙන් එය අවට අනෙකුත් ගෘහ භාණ්ඩවලට බාධාවක් නැති බව තහවුරු කරගත යුතුයි.
එසේම වඩා වැදගත් දේ වන්නේ අදාළ ලී බඩුව ඔබට නිවස තුළට දොරෙන් ඇතුළු කරගත හැකි වීමයි. ඒ නිසා මේ සියලු කාරණාවලට මිනුම් නිවැරදිව ලබාගැනීම වැදගත් වනු ඇත. ඒ නිසාම ඔබේ නිවසේ ඇති ඉඩ කඩ ප්රමාණයේත්, ඔබේ දොර උළුඅහුවලත්, මිලදීගන්නා ගෘහ භාණ්ඩයෙත් මිනුම් නිවැරදිව ගැළපෙනවාද කියා බලන්න.
ලී ගෘහ භාණ්ඩ ගැන
මේ සියලු කාරණා සපුරා ලී බඩුවක් මිලට ගන්නට යන ඔබ එම ලී බඩුව තෝරාගනිද්දී වඩා සැළකිලිමත් විය යුතුයි. ඔබ මිලදීගන්නා ලී භාණ්ඩය ගැන ඔබ බොහෝ සේ සැළකිලිමත් විය යුත්තේ බොහෝ කූඨ වෙළෙඳුන් ලී බඩු ජාවාරමේ නියැලෙන නිසායි. ඒ නිසා වගකීමක් ඇති තැනකින් ගෘහ භාණ්ඩ මිලදීගන්නට පියවර ගන්න.
පළමුවෙන්ම එය වෙනුවෙන් භවිතා කර ඇති ලීය සම්බන්ධයෙන්, ඒ වගේම එහි ශක්තිමත් බව සම්බන්ධයෙන්, එසේම එම ගෘහ භාණ්ඩය නිමාව සම්බන්ධයෙන්,
එයට නොයෙක් සතුන්ගෙන් එල්ල විය හැකි උවදුරුවලට අදාළ ආරක්ෂණ ප්‍රතිකර්ම සිදුකර ඇතිද යන කාරණා මෙන්ම, පෙනුම ගැනත් ඔබ සිතිය යුතුමයි. ඒ වගේම ඔබේ නිවසේ ළමුන් සිටිනවානම් උල් සහිත මුළු නොතිබෙන්නට වක්රාකාර වූ මුළු සහිත ලී බඩුවක් තෝරාගැනීමත් වැදගත්. මෙවැනි කාරණා ඔබට සපුරන්නට නොහැකි නම් දන්නා අන් අයෙකු හෝ සම්බන්ධ කරගැනීම වැදගත්.
( අන්තර්ජාලය ඇසුරෙන් )
අර්චිත ඉඳුවර