සිතුවිලි නපුරට හැරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මිනිසා මිනිසාට එරෙහිවීම සාමාන්‍ය සංසිද්ධියක් වුවත් එදා මෙන් නොව අද තාක්ෂණයේ දියුණුවත් සමග යහපත් දේ සඳහා ප්‍රයෝජනයට ගත හැකි සමාජ මාධ්‍ය හරහා කෙනෙකුගේ චරිතය ඝාතනය කිරීම, නින්දා අපහාස කිරීම විනෝදාංශයක් බවට පත්ව ඇති පසුබිමක ඒවා නියාමනය කිරීම සඳහා නව නීති සම්පාදනය වීමත් සමග ඒ පිළිබඳ නොයෙක් කතාබහා ඇති වී තිබෙනවා. ඒ පිළිබඳ මාධ්‍ය නීති සංසදයේ සභාපති නීතිඥ විරංජන හේරත් මෙසේ අදහස් දැක්වූවා…
මාර්ගගත ආරක්ෂණය සඳහා නව නීතියක් හඳුන්වාදීමට ආණ්ඩුව පියවර ගැනීමත් සමග මේ වනවිට ඒ සම්බන්ධයෙන් සමාජය තුළ පුළුල් කතාබහක් නිර්මාණය වෙලා තිබෙනවා. මේ නව නීති කෙටුම්පත දැනටමත් ගැසට් පත්‍රයේ පල කර ප්‍රසිද්ධියට පත් කර ඇති අතර ඉදිරියේදී එය පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමටද නියමිතය. මෙය නීතියක් බවට පත්වනවාද නැද්ද යන්න පිළිබඳ අවසන් නිගමනය සිදුවන්නේ ඉන් අනතුරුව සිදුවන ක්‍රියාදාමයන් හරහායි.
කෙසේවෙතත් තවමත් කෙටුම්පත් අවස්ථාවේ පවතින මෙම නීතිය සම්බන්ධයෙන් සමාජය තුළ ප්‍රධාන වශයෙන් මත දෙකක් නිර්මාණය වී ඇති බව දැකගත හැකිය. ඉන් පළමුවැන්න වන්නේ මෙය ඉතා හොඳ නීතියක් බවත් ඒ හරහා අන්තර්ජාල සහ සමාජ මාධ්‍ය හරහා කාන්තාවන් මෙන්ම ළමුන් ඉලක්ක කරගෙන දරුණු ලෙස සිදුවන අපයෝජන සහ තොරතුරු විකෘති කිරීම්වලට වැටබැඳීම, එවැනි වැරදි සිදුකරන අයට එරෙහිව සිර දඬුවම් සහ දඩ නියම කිරීම වැනි තත්ත්වයන් හඳුන්වාදීමයි. මීට ප්‍රතිවිරුද්ධ අනෙක් මතය වන්නේ මේ හරහා අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය හරහා නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට බාධා ඇතිවීම, ඒවා වාරණයට ලක්වීම මෙන්ම අන්තර්ජාල සහ සමාජ මාධ්‍ය සමාගම් රටින් ඉවත්ව යාමේ අනතුරක් මතුවීම වැනි අදහස්ය.
මේ යෝජිත නීතිය මගින් මාර්ගගත ක්‍රම ඔස්සේ අසත්‍ය ප්‍රකාශ කිරීම වරදක් ලෙස හඳුන්වා දී තිබෙන අතර අසත්‍ය ප්‍රකාශ යනු කුමක්දැයි හඳුන්වා දී ඇති අතර සරලව දක්වතොත් රැවටීමේ හෝ නොමගයැවීමේ චේතනාවෙන් සිදුකරන ප්‍රකාශයි. එහිදී අදාළ ප්‍රකාශ මගින් ජාතික ආරක්ෂාවට, මහජන සෞඛ්‍යයට, මහජන ආරක්ෂාවට, තර්ජන ඇති කිරීම, එදිරිවාදිකම් සහ වෛරී හැඟීම් ඇති කරන ප්‍රකාශ ප්‍රවර්ධනය කිරීම දඩ මෙන්ම වසර පහක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට ලක් කළ හැකි වරදක් ලෙස හඳුන්වා දී තිබෙනවා.
මීට අමතරව මාර්ගගත ක්‍රම ඔස්සේ අධිකරණයට අපහාස විය හැකි ප්‍රකාශ සිදුකිරීම, අසත්‍ය ප්‍රකාශ මගින් කැරලි ගැසීමට කෝප කරවීම, අසත්‍ය ප්‍රකාශ මගින් ආගම්වලට ගැරහීම, මාර්ගගත ගිණුම් ඔස්සේ වංචා කිරීම, ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යමින් වෙනත් අයෙකු ලෙස පෙනී සිටීම ආදී වැරදි ගණනාවක් හඳුන්වා දී තිබෙනවා. එම වැරදි සඳහා දඩ මෙන්ම සිර දඬුවම්ද නියම කිරීමට මෙමගින් යෝජනා කර තිබෙනවා.
මේ පනත් කෙටුම්පතේ ඇතුළත් තවත් විශේෂ වරදක් වන්නේ වෙනත් තැනැත්තෙකුට හිරිහැර කිරීමේ චේතනාවෙන් අදාළ තැනැත්තා සම්බන්ධ පෞද්ගලික තොරතුරු අනෙක් පාර්ශ්වයට සන්නිවේදනය කිරීමයි. උදාහරණයක් ලෙස පුද්ගලයන් දෙදෙනෙකු අතර පවතින සබඳතාවයක් අවසන් වූ පසු එක් අයෙකු විසින් අනෙකාගේ පෞද්ගලික දුරකථන අංක, ඡායාරූප ආදිය ප්‍රසිද්ධ කිරීම ඒ හරහා එම තැනැත්තාව හිරිහැරයට පත්කිරීම වැනි තත්ත්වයක් වැරදි ලෙස මෙම යෝජිත පනතින් හඳුන්වා දී තිබෙනවා.
මේ අනුව බැලූ බැල්මට මෙය මාර්ගගත ක්‍රමවේද ඔස්සේ සිදුවන කාන්තා සහ ළමා හිරිහැර වැළැක්වීමට යොදාගත හැකි අසත්‍ය ප්‍රකාශවලට වැට බඳින හොඳ නීතියක් බව පෙනී යනවා.එහෙත් සියුම්ව විශ්ලේෂණය කිරීමේදි මෙම යෝජිත නීතිය හරහා මාර්ගගත ක්‍රම ඔස්සේ සිදුකරන අදහස් ප්‍රකාශ කිරීම් දරුණු ලෙස සීමා කිරීමට මෙකී නීතිය යොදාගත හැකි බව හඳුනාගත හැකිය.
යෝජිත මෙම නීතිය අලුත් කොමිසමක් ස්ථාපිත කිරීමට යෝජනා කර තිබෙනවා. පස්දෙනකුගෙන් සමන්විත එම කොමිසමේ සාමාජිකයන් පත් කරන්නේ ජනාධිපතිවරයා වන අතර ඔවුන් ඉවත් කිරීමේ හැකියාව පවතින්නේද ජනාධිපතිවරයාටමය. මෙම කොමිසමට මාර්ගගත වේදිකාවේ පළකෙරෙන අසත්‍ය ප්‍රකාශ යැයි ඔවුන් නිගමනය කරන ප්‍රකාශ ඉවත් කරන ලෙස නියෝග කිරීමද එම නියෝග පිළිපදින්නේ නැත්තම් අධිකරණය ඔස්සේ දඩ සහ සිරදඬුවම් නියම කිරීමටද කොමිසමට අවකාශය සැළසෙනවා.
ඒ අනුව අප අන්තර්ජාල සහ සමාජ මාධ්‍ය වේදිකාවල, ජාලාවල පළ කළ යුතු දේ මෙන්ම නොකළ යුතු දේ තීරණය කිරීමේ බලය ජනාධිපතිවරයා පත් කරන පස්දෙනෙකුගෙන් යුත් කොමිසමට පැවරෙන අතර ඒ හරහා අප තුළ පූර්ව වාරණය පිළිබඳ අදහසක් මතුවී තම අදහස් පළකිරීම සිදුනොකර සිටීමට පෙළඹිය හැකිය. එය හොඳ තත්ත්වයක් නොවෙයි.
මේ යෝජිත නීතිය මගින් අන්තර්ජාල අතරමැදි සේවා සපයන මෙන්ම සමාජ මාධ්‍ය වේදිකා පවත්වාගෙන යන මාර්ගගත සමාගම් ලංකාවේ ලියාපදිංචි විය යුතු බවට නියම කර තිබෙනවා. කොමිසම කරන දැනුම්දීම්වලට අනුව අසත්‍ය ප්‍රකාශ ඉවත් කිරීමේ වගකීම එම සමාගම්වලටත් පැවරෙනවා. ඒ අනුව කටයුතු නොකළහොත් අදාළ සමාගම්වලටත් දඩ මුදල් ගෙවීමට සිදුවනවා. මේ පසුබිම තුළ අදාළ සමාගම් මේ අනවශ්‍ය නීති, රෙගුලාසිවලට යටත් නොවී ලංකාවෙන් සිය මෙහෙයුම් ඉවත් කර ගැනීමේ අවධානමක් ද පවතිනවා.
මාර්ගගත ක්‍රමවේද ඔස්සේ ව්‍යපාර පවත්වාගෙන යාම, අධ්‍යාපනය ලැබීම, තොරතුරු හුවමාරු කර ගැනීම වැනි ක්ෂේත්‍ර ගණනාවක දැවැන්ත කඩා වැටීමකට ලක්විය හැකියි. මේ පසුබිම තුළ අප කළයුත්තේ කුමක්ද යන්න පිළිබඳව මෙහිදී අවධානයට යොමු කළ යුතු වනවා. මෙම යෝජීත නීතිය මගින් යෝජනා කර ඇති කාන්තාවන්ගේ පෞද්ගලික තොරතුරු හෙළිකර පීඩාවට පත්කිරීම, මාර්ගගත ක්‍රම හරහා ළමා අපයෝජන වැළැක්වීම, අසත්‍ය වෛරී ප්‍රකාශ පැතිරවීම ආදියට එරෙහිව ක්‍රියාත්මක කළ හැකි නීති දැනටමත් අප රට තුළ පවතිනවා.
දණ්ඩ නීති සංග්‍රහය, පරිගණක අපරාධ පනත, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පිළිබඳ පනත ආදිය තුළ ඇති නීති ප්‍රතිපාදන මගින් මෙම තත්ත්වයන්ට එරෙහිව ක්‍රියාත්මක විය හැකියි. දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශය අදාළ නීති හරහා එවැනි තත්ත්වයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ අවස්ථා පිළිබඳ උදාහරණ ගණනාවක්ම පවතිනවා.
මේ පසුබිම තුළ සිදුකළ යුත්තේ පවතින නීති පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීම, මාර්ගගත හැසිරවීම් පිළිබඳ වන පුරවැසි දැනුවත්භාවය වැඩි කිරීම, මාර්ගගත සේවා සපයන අන්තර්ජාතික සමාගම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම වැනි ගැඹුරු ප්‍රවේශයක් ඔස්සේ මාර්ගගත හෙවත් ඔන්ලයින් වේදිකා තුළ පවතින ගැටලු විසඳාගැනීම මිස අදහස් පළ කිරීමට ඇති අයිතිය සීමා කරන ඒ පිළිබඳ තීරණය කිරීමේ බලය කිහිපදෙනෙකුට හිමිවන අලුත් නීති ගෙන ඒම හෝ ඒ සඳහා දිරි ගැන්වීම නොවනු ඇත.
නීතිඥ විරංජන හේරත්
සභාපති
මාධ්‍ය නීති සංසදය