10% කින් මෙහෙමනම් ඉතිරි 90% න් වැඩ ගත්තොත් කොහොමද
අප භවිත කරන්නේ මොළයෙන් 10% ක් පමණක් වන බව විද්වතුන් ප්‍රකාශ කරනු අප අසා ඇත. එය අප තුළ ලැජ්ජාවක් ඇති කරන්නකි. එහෙත් අතීතයේ බොහෝ දුර්මත නවීන විද්‍යාව හමුවේ බොරු වෙමින් පවතී. ජනප්‍රිය සංස්කෘතිය තුළ මුල්බැස ඇති මෙවන් දුර්මත දුරැලීම පහසු නැත.
නව වියත් මත
හියුස් (2013) ආදී සමකාලීනයෝ මේ දුර්මතයක් බවට අවබෝධකර ගත්හ. 2012 දී ඩෙකර් විසින් සොයාගනු ලැබුවේ විවිධ සංස්කෘතීන් හරහා ප්‍රාථමික හා ද්වීතීයික ගුරුවරුන්ගෙන් 50% ක් පමණ දෙනා මෙම 10% මිථ්‍යාව අදහන බවය.
ස්නායු විද්‍යාඥයින්ගේ පර්යේෂණ
PET (Positron Emission Tomography) සහ Functional MRI (fMRI) ආදී මොළයේ ජීවමාන ක්‍රියාකාරීත්වය මනින ස්කෑන් යන්ත්‍ර නවීන විද්‍යාව සතුය. පෙට් ස්කෑනයේදී ජෛවවිද්‍යාත්මකව සක්‍රිය විකිරණශීලී අන්වේෂකයක් මගින් මොළයේ විෂය ප්‍රදේශ එන්නත් කරනු ලැබේ.
මොළය මගින් අන්වේෂකය පරිවෘත්තීයකරණයට බඳුන් කර පොසිට්‍රෝන විමෝචනය සිදුකරයි. මොළයේ ක්‍රියාකාරීත්වය වැඩිවන තරමට පොසිට්‍රෝන විමෝචනය වැඩිවේ. ගැමා විකිරණ හා එක්වන පොසිට්‍රෝන, සංවේදක මගින් අනාවරණය කෙරේ. එවිට පරිඝණකය මගින් අන්වේක්ෂක සාන්ද්‍රණය පදනම් කරගෙන මොළයේ ක්‍රියාකාරීත්වය දක්වන ත්‍රිමාන නිරූපණයක් සකස් කෙරේ.
මිථ්‍යාව බිඳ හෙළීම
පෙට් ස්කෑන් යන්ත්‍රයෙන් කරන්නේ නිරෝගී පුද්ගලයකුගේ මොළයේ ක්රියාකාරීත්වයේ සැබෑවටම ස්කෑන් කිරීමකි. 10% ක් කොටසකින් වෙන්වූ 90% ක අඳුරු කොටසක් මෙහිදී හමුනොවේ.
නිගමන
අපගේ මුළු මොළයම නිරන්තරයෙන් (නින්දේදී පවා) ක්‍රියාකාරී වේ. මෙයට නියාමනය, අධීක්ෂණය, පිරික්සීම, අර්ථ නිරූපණය, තර්ක කිරීම, සැලසුම් කිරීම, සහ ක්‍රියාකාරී වීම යන සියලු අංගයන් ඇතුළත්ය. වෙනෙකක් තබා ඇල්සයිමර් සහ පාකින්සන් වැනි පිරිහෙන ස්නායුක ආබාධ ඇති පුද්ගලයින් පවා මොළයෙන් 10% කට වඩා භවිත කරයි. මේ නිගමන වලින් 10% මිථ්‍යාව බිඳ වැටේ.
මිථ්‍යාවේ මූලාරම්භය
විලියම්ස් ජේම්ස්ගේ(1907) ලිපියක් වරදවා වටහාගැනීම 10% මිථ්‍යාවේ ආරම්භය වියහැක. ඔහු පවසා ඇත්තේ අප වැඩිදෙනෙක් හිස මත බර පටවාගෙන සිහිනුවණ, තර්කානුකූලභාවය හා ස්ථිර තීරණ ගැනීම අහිමිව තමුන් සතු හා භෞතික සම්පත් වලින් ඉතා සුළු ප්‍රමාණයක් පමණක් භාවිතකරන බවය.
මොළය හා බැඳුණු වෙනත් දුර්මත
මිනිසුන් දකුණු මොළය හෝ වම් මොළය භවිත කරන බව,Amnesia නම් වූ තාවකාලික මතකය අහිමිවන රෝගය යනු තමාට තමාව අමතක කරන්නක් බව, මල්වර වීමත් සමග මොළය වර්ධනය නැවතීම, අප නිදාගන්නා විට මොළයද අක්‍රියවීම, මොළයට හානි සිදුවනවිට විශේෂයෙන්ම වයසක අයගේ මතකය සදහටම අහිමිවීම, මොළය පුහුණුකර බුද්ධි මට්ටම ඉහළ නංවාගෙන මොළය පිරිහීමේ වේගය අඩුකිරීම, මහළු වියේදී මොළයේ ක්‍රියාකාරීත්වය සැලකිය යුතු ලෙස පහතවැටීම, මොසාට් හෝ බැරොක් සංගීතයට සවන්දීම බුද්ධි මට්ටම හෝ ඉගෙනීම දියුණු වීම, ආදී වශයෙන් මොළය පිළිබඳව ඇති වෙනත් දුර්මතද වේ.
( https://www.psychologicalscience.org/ ඇසුරෙන් )
සුනිල් අල්ගම