ආදරය කරන දෙදෙනෙක් හැම වෙලාවකම උත්සාහ කරන්නෙ නිස්කලංක තැනකදි හමුවෙලා නිදහසේ ඔවුනොවුන්ගෙ අදහස් හුවමාරු කරගන්න. ඒ නිසා තමයි පෙම්වතුන් හැමවිටම මුහුදු වෙරළක් උද්‍යානයක් නැත්නම් ඒ හා සමාන වෙනත් ස්ථානයක් ඒ සඳහා තෝරගන්නෙ. නිසි වයස සම්පූර්ණ කළ යුවළකට ලංකාව ඇතුළත ඕනෑම ස්ථානයකට යාමට සහ ඒමට නීතිමය අයිතියක් තියෙනවා. තත්ත්වය එසේ වුවත් අයාලේයන්නන්ගේ පනත යටතේ පොලිස් නිලධාරියෙකුට පොදු ස්ථානයක අශෝභන ලෙස හැසිරෙන ලිංගික කටයුතු වල යෙදෙන අයට විරුද්ධව ක්‍රියාත්මක කළ හැකි නීතිය පාවිච්චි කිරීම නිසා බොහෝ පෙම්වතුන් පහසුවට පත්වන අවස්ථා දකින්නට ලැබෙනවා. එවැනි පසුබිමක නිදහසේ පෙම්සුව විඳින්නන්ට බාධා කිරීම සඳහා සදාචාර අයිතියක් ඇද්ද යන්න අප නීතිඥ නිර්මාල් පූර්ණජිත්ගෙන් විමසා සිටියා…
තාවකාලික ලැගුම්හලක් තුළ සිටි තරුණ යුවළක් පොලිස් නිළධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව කියන පුවත අද මාධ්‍ය හරහා අවධානය දිනාගන්නා මාතෘකාවක් වීම අද සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වෙලා. මේ ලිපියෙන් අපි කතාකරන්නෙ ඇත්තටම පෙම්වතුන් යුවළක් ලැගුම්හලක් තුළ සිටීම නෛතික වශයෙන් වරදක්ද යන්නයි…
මුලින්ම අපි දැනගත යුතුයි නීතිය, සදාචාරය සහ සංස්කෘතිය වැනි සංකල්ප අප විසින් වෙන වෙනම වටහාගැනීමට වුවමනා බව. සංස්කෘතික හෝ සදාචාරාත්මක වශයෙන් අපි වරදක් කියල අර්ථකථනය කරන හැමදෙයක්ම නීතියෙන් සිවිල් හෝ අපරාධ වරදක් වන දෙයක් නොවන්නට පුළුවන් කියන කාරණාව අපි තේරුම්ගත යුතුය.
එමෙන්ම නීතිය මඟින් වරදක් වශයෙන් අර්ථකථනය නොකරන හැමදෙයක්ම සිදුකරන එක සමහරවිට සමාජ ක්රමයේ යහපැවත්ම යන කාරණයෙදී සිතාබලා කටයුතු කළ යුතු බවට ස්වයං දැනීමක් මනුෂ්‍යයන් තුල තිබිය යුතුයි. මෙය සිදු කිරීමට සුදුසුද නුසුදුසුද යන්නත් එසේ සිදු කිරිම යහපත්ද අයහපත්ද යන්නත් ඒ තුළින් තමන්ට අත්වන ප්‍රතිඵලය කුමනාකාරයේ එක්කද යන්නත් වටහාගැනීම තුලින් තමන්ටම ඒ ගැන තීරණයක් ගන්න පුළුවන්.
මුලින්ම අපි මේ ලැගුම්හල් තුළදී එහෙමත් නැතිනම් යම් ස්ථානයකදී තරුණ තරුණියන් පොලිස් නිළධාරීන්ගේ වැටලීම්වලට මුහුණදීමේ කාරණාව පිළිබඳව සලකා බලමු. ඔබේ වටහාගැනීමේ පහසුව තකා අණපනත් හා වගන්ති පිළිබඳ සඳහන් කරමින් අර්ථදැක්වීමට වඩා එකී නෛතික ප්‍රතිපාදනවලින් පොදුවේ ස්ථාපිත කරුණු අපි සලකා බලමු.
ප්‍රධාන වශයෙන්ම අප විසින් වටහාගත යුතුයි ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාවේ තුන්වැනි පරිච්ඡේදයෙන් පුරවැසියන් විදිහට අපිට මූලික අයිතිවාසිකම් ප්රදානය කරල තියෙනවා. විශේෂයෙන්ම ව්‍යවස්ථාවේ 14 (1) අනුව්‍යවස්ථාවේ ‘ඇ‘ යටතේ දක්වා තිබෙන කරුණු අනුව පුද්ගලයන්ට ‘සමාජයේ නිදහස’ හිමිවිය යුතුයි. මේ කරුණ මූලිකවම ගෙනහැර දැක්වූයේ පුරවැසියන් විදිහට ඔබට අනෙකෙකු සමඟ ගැවසීමට, ඇසුරුකිරීමට මූලික අයිතිවාසිකමක් පවා තිබෙන බව දක්වන්න.
කෙසේ නමුත් තාවකාලික ලැගුම්හල් එහෙමත් නැතිනම් පොදු උද්‍යාන ආදියේ තරුණ යුවළක් එකට ගැවසෙනවනම් බොහෝ විට පොලිස් නිළධාරීන් විසින් කිසිදු හේතුවකින් තොරව ඔවුන් අපහසුවට හා බියට පත්කරමින් යම්කිසි නෛතික වරදක් සිදුකළ බවට චෝදනා කරමින් කටයුතු කරන්නේ කුමන නීතියක් යටතේද යන්න ගැටලුවකි.
ශ්‍රී ලංකාව තුළ වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම තැනැත්තෙකු වැඩිහිටියෙකු ලෙස සැලකෙනවා. යම් තැනැත්තියක සමග කායික සබඳතා පැවැත්වීම නීතියෙන් වරදක් ලෙස සලකන්නේ ඇය වයස අවුරුදු 16 ට අඩුනම් පමණයි. ඒ අනුව නීතියේ රාමුවට අනුව මෙකී සීමාවන් ඉක්මවූ පුරවැසියන්ට තවකෙක් සමග කායික සබඳතාවක් පැවැත්වීම පිළිබඳ නෛතික වරදක් සිදුකළාය යන චෝදනාව එල්ල කරන්නට හැකියාවක් නැති බවත්, එය ඔවුන්ගේ අභිමතය හා කැමැත්ත මත ස්වකීය තීරණයකට අනුව සිදුවන දෙයක් ලෙස සැලකීමටත් සිදුවන බව අප වටහාගත යුතුය.
ඒ අනුව ඔබ වයස අවුරුදු 18 ට ඉහළ වැඩිහිටියෙක් නම්, අපරාධමය හෝ සිවිල් වරදක් සිදු නොකරන්නෙ නම් ඔබට ඒ අනුව හිමිවන සමාගමයේ අයිතියට බාධාකිරීමක් කරන්නටත්, යම් යුවළකගේ ඇසුරට බාධා කිරීමටත් නීතිය ක්‍රියාත්මක කරන නිළධාරියෙකුට හැකියාවක් නැතිබව අප වටහාගත යුතුයි.අප මෙහිදී එක් කරුණක් ඉතා හොඳින් වටහාගත යුතුයි, එනම් මෙයින් තැනැත්තෙකුගේ කැමැත්තට විරුද්ධව, පැහැරගෙන යාමෙන්, වැඩිහිටියෙකුගේ
භාරකාරත්වයෙන් අපහරණයෙන්, බලපෑම් කිරීමෙන්, වංචනිකව පෙළඹවීමකින්, මත්කිරීමෙන් හෝ තර්ජනය කිරීමෙන් යම් ස්ථානයකට රැගෙනයාම පිළිබඳ නෙවෙයි අපි මේ කතාකරන්නෙ. ඉහත කී යම් කටයුත්තක පාර්ශ්වකරුවෙක් වුවහොත් නිසැකවම ඒ තැනැත්තාට අපරාධමය වගකීමට ලක්වීමට සිදුවෙන බව සිහි තබාගත යුතුයි. ඒ වගේම විවාහක තැනැත්තෙකු ස්වකීය නීත්‍යානුකූල කාලත්‍රයා හැරෙන්නට වෙනත් පාර්ශ්වයක් සමඟ යම් ස්ථානයකදී කායික සබඳතාවක් පැවැත්වීම ‘අනාචාරය‘ යන සිවිල් වරද සංස්ථාපනය කරන බවත් අප වටහාගත යුතුයි.
ලිපිය අවසන් කරන්නට පෙර සඳහන් කළ යුතු විශේෂ කාරණයක් නම් තමාගේ ක්‍රියාවන්හි ප්රතිඵලයන් පිළිබඳ දරුවන් සුදුසු පරිදි දැනුවත් කිරීමෙන් ඔවුන් මනුෂ්‍යයන් ලෙස සමාජය තුළ හැසිරිය යුතු ආකාරය සහ තීරණ ගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය
වටහා දෙන්නට අපට පුළුවන් බවයි. අධ්‍යාපන ක්‍රමවේදය තුළින් දරුවන්ට ප්‍රායෝගික ජීවිතයේ දී තමා උචිත අවස්ථාන්ට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය පිළිබඳව ඉගැන්වීමකින් තොර රටක, දෙමාපියන් ඉතා විවෘතව දරුවන් සමඟ සන්නිවේදනයේ යෙදෙනවානම්, සදාචාර බැටන්පොලු සාධාරණී කරණය කරන්නට ඉවහල් වන සමාජ ඛේදවාචක ගැන අසන්නට දකින්නට ලැබීම බොහෝවිට සන්සිදෙ නු ඇත.
නීතිඥ නිර්මාල් පූර්ණජිත්
නීතිවේදී (ගෞරව)
කොළඹ විශ්වවිද්‍යාලය
නීති ශාස්ත්‍රපති
එක්සත් ජනපදය
ධම්මික හේවාවසම්