කරපිංචා, බෙලි, දිවුල් වැනි අපේ රටේ පලදාවන් අපතේ යන්නට ඉඩ නොදුන් ඇය ඒ සඳහා නව අගයක් එකතු කරමින් වෙළෙඳපොළට යොමු කරවන්නට සමත් වෙනවා. තවමත් විසි තුන් හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියක් වන සජානි කෞෂල්‍යා ඉගෙනුම් කටයුතුවලට බාධාවක් නොවන ලෙස ව්‍යාපාරික ක්ෂේත්‍රයට පිවිසි අන්දම නවලිය හමුවේ මෙසේ කියා සිටියා…
ඔබ කවුද කියල අපිට කිව්වොත්…
මම සජානි කෞශල්‍යා ගුණරත්න. පදිංචිය අනුරාධපුර මරදන්කඩවල. ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවෙ හපිදියාගම ආනන්ද විද්‍යාලයෙන්. එතැනින් පසුව අනුරාධපුර ශ්‍රිී රාහුල විද්‍යාලයට ඇතුළත් වුණා. සාමාන්‍ය පෙළ සමත් වෙලා කැකිරාව මධ්‍ය මහ විද්‍යාලයෙන් වාණිජ විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරලා මේ වනවිට දැන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවසායකත්ව අධ්‍යන අංශයේ අවසන් වසරෙ ඉගෙනුම ලබනවා.
නිෂ්පාදන සන්නාමයක හිමිකරුවීමේ සිහිනය පිටුපස ඔබ හඹාගියේ?
මගේ අම්මාට කොලෙස්ටරෝල් තියෙනවා. අම්මා ඒ වෙනුවෙන් ප්‍රතිකාරත් ගන්නවා. අම්මාට කොලෙස්ටරෝල් තියෙන නිසා මටත් අවදාමක් තියෙන හින්දා කොරෝනා කාලයේදී හිතේ බයකුත් තිබුණා. ඔය අතරෙ මම ටිකක් මහත් වුණා.ඒ හින්දම කෙට්ටු වෙන්න කියල විවිධ දේවල් මම අත්හදා බැලුවා. ඒ අතර ගොරකා, සියඹලා වගේ දේවල් බොන්න පටන්ගත්තා. ඒත් ඒවා මට දිගටම බොන්න බැහැ. ගැස්ට්‍රයිටිස් හැදෙන්න පටන්ගත්තා.
එතැනින් පසුව කෙට්ටු වෙන්න තිබුණ සිතුවිල්ල අවසන් කළාද?
නැහැ. ඇත්තටම මගේ මහත ගතිය අඩු වුණා. ඒක අත්දැකීමක්. ඒ වගේම ගැස්ට්‍රයිටිස් හැදුනෙත් නැහැ. අපේ අම්මාටත් මම කරපිංචා බොන්න දුන්නා. අම්මාගෙත් අහිතකර කොලස්ටරෝල් ගිණුම හුඟක් දුරට අඩුවුණා. මේ අත්දැකීමත් එක්ක තවත් දෙයක් මට පෙනුණා.
අපේ ප්‍රදේශයේ ජීවත්වෙන බොහෝ දෙනා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට කරපිංචා අරගෙන ගිහින් ඒවා විකුණාගන්න බැරුව එහේ දාල ආපසු නිවසට එනවා කිසිම මුදලක් අතේ නැතුව. මට අවශ්‍ය වුණා මේ ප්‍රශ්නයට විසඳුමක් සොයන්න.
ඔබට කරපිංචාවලට අගයක් දෙන්න හිතුනද?
ඇත්තටම ඔව්. අපේ විශ්වවිද්‍යාලයේ විශේෂයෙන් ව්‍යවසායකත්ව අධ්‍යයන අංශය අපට ලබාදෙන පන්නරයක් තිබෙනවා.එහිදී නිතරම කියන්නේ ආයතනයකට කොටු වෙන්න එපා තමන් ස්වාධීන වෙන්න කුමන හෝ අගයක් එකතු කරල නිෂ්පාදනයක් කරන්න සමාජයේ පවතින ගැටලුවලට නිර්මාණශීලී විසඳුම් ලබාදෙන්න අපිව උනන්දු කරනවා.
මම ජීවත් වෙන උතුරු මැද කලාපයේ කරපිංචා සුලබයි. අපි තවමත් කරපිංචා සුවඳ සහ රස කාරකයක් විදිහට යොදා ගන්න දැනගෙන සිටියත් ඉන් උපරිම ප්‍රයෝජන ගන්න තිබෙන උනන්දුව අඩුයි.
පෙරදිග වෛද්‍ය ක්‍රමය තුළ කරපිංචාවල විශාල වටිනාකමක් තිබෙනවා. අපේ ශරීරයේ විෂ නසන ගුණයක් තිබෙනවා. සර්ප දෂ්ටනයේදී සිරුරේ විෂ නැති කරන්න අතීතයේ පටන්ම කරපිංචා කැඳ ලබා දුන්නා. අදටත් ඔසු කැඳවල දී කරපිංචා මිටක් එකතු කරනවා. මේ විදිහට බොහෝ ගුණ තියෙන කරපිංචා පානයක් ලෙස භාවිත කළ හැකි විදිහට වෙළෙඳපොලට ඉදිරිපත් කළා.
ඒ ගැන පැහැදිළි කළොත්?
කරපිංචා වියළා පවුඩර් එකක් විදිහට සකස්කර උණු වතුරට දාල තේ, කෝපි විදියට බොන පානයක් ලෙස හඳුන්වා දෙන්න මම උත්සාහ කළා.
ඒ වෙනුවෙන් අනුමැතිය ලැබුණද?
ඔව්. මගේ නිෂ්පාදනය ගන්නොරුව ආහාර පර්යේෂණායතනයෙන් අනුමත කළා.
අලුත් නිෂ්පාදනයක් වෙළෙඳපොළට හඳුන්වාදීම අපහසු වුණේ නැත්ද?
ඒක අසීරු කාර්යයක්. අලුත් නිෂ්පාදනයක් සමාජගත කරන්න නම් හොඳ ප්‍රවර්ධන මාධ්‍යයක් අවශ්‍ය වනවා. නමුත් අපි වගේ පුංචි ව්‍යවසායකයන්ට ප්‍රචාරණය වෙනුවෙන් විශාල වියදමක් දරන්න බැහැ. ඒ නිසා මම සමාජ මාධ්‍ය ජාලා හරහා මගේ නිෂ්පාදනයේ ප්‍රචාරණ කටයුතු සිදුකළා.
ඊට අමතරව විවිධ රජයේ නිලධාරීන් හරහා මගේ නිෂ්පාදන ප්‍රචාරණ කටයුතු සිදුකළා. අපේ පන්සලේ විශේෂ වැඩ සටහන් තියෙන දවසට, වෙසක්, පොසොන් වගේ දවසට පවත්වන දන්සැල්වලට කරපිංචා පවුඩර් එකෙන් හදන පානයක් ලබාදුන්නා. එවැනි ක්‍රියාකාරකම් මගින් මගේ නිෂ්පාදනය ගැන ප්‍රචාරණය සිදුවුණා
.
කාලයත් සමග ඔබේ නිෂ්පාදනයේ හැඩය වෙනස් වුණා
ඔව්. පවුඩර් විදිහට පානය කරනවිට කුඩු ඉතිරි වෙනවා ඒකත් පාරිභෝගිකයාට කරදරයක් වෙන්න පුළුවන් කියලා මට හිතුණා. ඒ නිසා දැන් හැමදෙනා අතරම වැඩි ඉල්ලුමක් තිබෙන Tea Bag එකක් විදිහට කරපිංචා පානය වෙළෙඳපොළට හඳුන්වාදුන්නා.
එක තැනක නොනැවතී තවත් දෙයක් වෙනුවෙන් අගයක් ලබා දෙන්න අදහස් කළා
ඔව්. මට ඕන වුණේ කරපිංචා නිෂ්පාදනය බහුලව තිබෙන නිසා ඊට අමතරව විශේෂ නිෂ්පාදනයක් වෙළඳපොළට ඉදිරිපත් කරන්න.අපේ පළාත්වල බෙලි වැඩි වශයෙන් තිබෙනවා. මේවා ගස් යට වැටිලා කුණුවෙලා යනවා. ආහාර ජීරණ මාර්ගය ආශ්‍රිත රෝගවලට බෙලි ඉතාම ගුණ පලතුරක්.
ඒත් හුඟක් දෙනෙක් බෙලිවලට එතරම් මනාප නැහැ. ගුණය ගැනත් දන්නවා. අපහසුවක් ඇති වුණොත් බෙලි ගෙඩියක් කනවා හැර මේ වගේ වටිනා පලතුරක් තමන්ගේ ආහාරයට එකතු කරගැනීමට උනන්දුවක් ඇත්තේම නැහැ.
ඒ නිසා ඔබ කාටත් ආහාරයට ගන්න පහසු විදිහක් ගැන හිතුවද?
ඇත්තටම කිව්වොත් සිද්ධ වුණේ ඒක තමයි. බෙලි නිකම් කන විට තිත්තයි. කට කහන ගතියක් තිබෙනවා. මම මේ ප්‍රශ්නයට විසඳුමක් විදිහට බෙලිවලින් පවුඩර් එකක් හැදුවා. මේක ඉතාම පහසුවෙන් දිය කර ගෙන පානය කරන්න පුළුවන්.
ආහාර රසවත් කරන්න වගේම ආහාරවලට ලස්සන වර්ණයක් විදිහටත් බෙලි යොදාගන්න පුළුවන්. බෙලිවල විශේෂත්වයක් තිබෙනවා. ස්වභාවික රස ඒ විදිහටම තිබෙනවා. ස්වභාවික බෙලි ගෙඩියක් කනවාට වඩා රසයි. ඒ ඇයි කිව්වොත් කහට සහ තිත්ත ගතිය ඉවත් කර තිබෙන නිසා කිසිම රසායනික ද්‍රව්‍යක් එකතු කරන්නේ නැහැ.ඒ විතරක් නොවෙයි කල් තබාගැනීමේ ද්‍රව්‍ය හෝ වර්ණක කිසිම දෙයක් එකතු කරන්නේ නැහැ.
ඔබේ නිෂ්පාදන වෙනුවෙන් බෙලි මද ලබා ගත්තාම කටු විශාල ප්‍රමාණයකින් ඉතිරි වෙනවා ඇති ඒ බෙලි කටුවලට මොනවද කරන්නෙ?
මම බෙලි කටු වියළා කැබලි විදිහටත් නිෂ්පාදනයක් හඳුන්වා දුන්නා. බෙලි කටු තම්බා බීම ගුණදායක බව ආයුර්වේදයේ පවා සඳහන් වෙනවා. ඒ වගේම ඉදුණු දිවුල් යොදා ගෙන පවුඩර් එකකුත් නිෂ්පාදනය කරනවා.
ඔබේ වෙළෙඳපොළ ගැනත් සඳහනක් කළොත්…
මගේ නිෂ්පාදන අලෙවිය මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුවනවා. ඇනවුම් ලැබුණාම අදාළ පාරිභෝගිකයන්ට කුරියර් සේවාව හෝ තැපැල් මගින් සිදුවෙනවා. ඒ වගේම දැන් අපේ විදේශගත හිත මිතුරු ඥාතීන් මගින් විදේශ රටවලටත් කරපිංචා පානය ලබා දෙනවා. මට විදේශ රටවලින් ඉතාම හොඳ ඉල්ලුමක් තිබෙනවා.
මගේ Face book පිටුව ඔස්සේ ඇණවුම් ලැබෙනවා. ඒ වගේම හොඳ Feed back ලැබෙනවා.” Kanchi Products ” Face book පිටුව ඉන්ස්ටග්‍රෑම්, ලින්ක්ඩින් පිටුව ඔස්සේ ඇණවුම් ලැබෙනවා. ඇමසන්, E bay වැනි වෙළෙඳපොළ ඔස්සේත් ඇණවුම් ලැබෙනවා. වැනි ඩිජිටල් වෙළෙඳපොළ ඔස්සේත් ඇණවුම් ලැබෙනවා.
දැනට ඔබේ ව්‍යාපාරයට අනුබද්ධව සේවක පිරිසක් සිටිනවාද?
ස්ථිර සේවකයන් නැහැ. විශාල ඇණවුම් ලැබුණ පසුව තාවකාලිකව සේවයේ යෙදෙන පිරිසක් සිටිනවා. ඊට අමතරව බොහෝ කටයුතු මම සහ අපේ නිවසේ අයගේ සහයෝගයෙන් සිදුවනවා. මට බෙලි දිවුල් සහ කරපිංචා අමුද්‍රව්‍ය විදිහට ලබාදෙන සැපයුම්කරුවන් සිටිනවා. ව්‍යාපාරයේ දියුණුවත් සමග විශාල පිරිසකට රැකියා ලබා දීමත්, ඔවුන්ගේ ජීවන තත්ත්වයන් උසස් කිරීමටත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ඔබේ අනාගත බලාපොරොත්තුව
අනාගතයේදී මේ වගේ පලතුරු යොදාගෙන මීටත් වඩා ඉදිරියට ගිය අලුත් නිෂ්පාදන හඳුන්වා දෙන්න අදහස් කරනවා. දැනටමත් ඒ ගැන පර්යේෂණ කරමින් සිටිනවා.
පුන්‍යා චාන්දනී ද සිල්වා