පසුගිය සතියේ අපි කතාබහ අවසන් කළේ ප්‍රමාණවත් තරම් දිනකට ජලය පානය කිරීමේ වැදගත්කම පිළිබඳ ඔබ දැනුවත් කරමින්. ඉදිරි සතියේදීත් මේ ගැනම කතා කරමු කියලා වෙද මහත්තයා කිව්වා ඔබට මතක ඇති. ඒ නිසා මේ සතියේ විශේෂාංගය ලියැවෙන්නෙත් පසුගිය සතියේ දිගුවක් විදිහටයි.
උදේ පාන්දරින්ම හිස් බඩ වතුර වීදුරුවක් බොන්න කියනවා. මොකක්ද ඒකෙ වැදගත්කම? කිරි එකක් බිව්වත් එකයිනේ, ඒකත් දියරයක්නෙ?
එහෙම නම් ඉතින් දියර වර්ග ඕන තරම් තියෙන්නෙ අපේ මහත්තයා මොනව තිබුණත් ජලය තමයි ජීවයේ පැවැත්ම. හිස් බඩ වතුර බීමෙන් එය විරේකයක් හැටියටයි ක්‍රියාත්මක වෙන්නෙ. ජලය ප්‍රතිකාරයක් හැටියට ගන්නවා නම් පළමු වතුර වීදුරුව බීලා මිනිත්තු පහළොවකින් දෙවැනි වතුර වීදුරුව බොන්න. ඔය විදිහට පැයක් ඇතුළත වතුර වීදුරු හතරක් බොන්න. එතකොට ලීටරයක ප්‍රමාණය පෙවෙනවා.
ආරම්භයේදී මේ ප්‍රමාණය බොන්න අපහසු වේවි. ටිකෙන් ටික වැඩි කරලා හුරු වෙන්න. ඉන් පස්සේ එලාම් නැතුවම බොඩ් ක්ලොක් එක ක්‍රියාත්මක වෙලා නියමිත වෙලාවටම අවදි වේවි වතුර තිබහත් එක්කම. ඉන්පස්සේ පැය භාගයකට වතාවක් වතුර අඩුකෝප්පයක් හෝ ඒක වැඩ කටයුතුවලට බාධාවක් නම් පැයකට සැරයක් වතුර වීදුරුවක් බොන්න. අනෙක් වැදගත්ම කාරණාව තමයි ප්‍රධාන ආහාර වේල් තුනට අවම වශයෙන් මිනිත්තු විස්සකට පෙර වතුර බීලා පස්සෙ ආහාර ගන්න. කෑවයින් පස්සෙ වතුර උගුරු තුන හතරක් බොන්න. පැය භාගෙකින් මිනිත්තු හතළිස් පහකින් විතර වතුර වීදුරුවක් බොන්න.
බඩගිනි දැනෙන හැම වෙලාවකම ක්ෂණිකව වතුර බොන්න… ඒ ඇයි ?බඩගින්න කියන්නෙ ආමාශය ගිනි ගන්නවා කියන එකනෙ. මොන හේතුවක් නිසාද ඒ ගින්න හට ගන්නේ?ආහාර දිරවීමට ආමාශය තුළට ශ්‍රාවය වෙන අම්ල නිසා නේද?
හරියටම හරි. කුසගිනි දැනෙන වෙලාවට ආහාර ගන්න බැරිම නම්, වතුර වීදුරුවක් බිව්වම අර සැර ඇසිඩ් එක තනුක වෙනවා. නැත්නම් වෙන්නෙ ආමාශ බිත්තිවලට හානි වෙන එක. අන්න එතන තමයි ගැස්ට්‍රයිටිස් ඇති වීමේ මූලාරම්භය. ඔය විදිහට තමයි කාලයක් යද්දි බඩේ තුවාල ඇති වෙලා ගැස්ට්‍රයිටිස් උග්‍ර වෙන්නෙ. ඒක ආමාශ සහ අන්ත්‍රවල, ගලනාළයේ පිළිකාමය තත්ත්වයක් බවට පත් වීමේ අවදානමක් තියෙනවා.
කෑමෙන් පස්සේ වතුර ගොඩක් බොන්න හොඳ නැහැ කියන උපදේශයටත් විවරණයක් දෙන්න
සමහරු කෑම කන අතරතුර වතුර බොනවා. තවත් සමහරු කෑම කාලා ලොකු වතුර ප්‍රමාණයක් බොනවා. මේ දෙකම වැරදියි. කෑමට පැය භාගයකට විතර කලින් වතුර වීදුරුවක් බොන්න, කෑමෙන් පස්සෙ කලින් කිව්ව විදිහට වතුර ටිකක් බොන්න. එහෙම නොවුණාම ඒක ආහාර ජිර්ණ ක්‍රියාවලියට ලොකු බාධාවක් ඇති කරනවා
දිනකට අවශ්‍ය වතුර ප්‍රමාණය සම්බන්ධයෙන් ඔබතුමා දෙන උපදේශය මොකක්ද?
මෙහෙමයි සාමාන්‍යයෙන් දවසට වතුර ලීටර් දෙකක් දෙක හමාරක් අත්‍යවශ්‍යයෙන් බොන්න ඕනෙ. ජලය අඩංගු පාන, පලතුරු බීම, තැඹිලි වගේ දේවල් වැඩිපුර බොන අයට මම කියන්නෙ පුරුද්දක් හැටියට ඒවා බොන අය ගැන. එයාලට වතුර වැඩිපුර අවශ්‍ය නොවෙන්න පුළුවන්.
නමුත් හොඳම දේ තමයි පිරිසිදු ජලය පානය කිරීම. කෘත්‍රිම රසකාරක (MSG- මොනො සෝඩියම් ග්ලුටටේට්) භාවිත කරලා හදන කෑම, අධිකව ලුණු යොදා නිපදවන පිසූ ආහාර (සොසේජස්, බේකන්, ලිංගුස්, චීස් ආදිය) නිතර ආහාරයට ගන්න අයට නිතර පිපාසය දැනෙනවා. එහෙම වතුර බොන එක ගැන නෙමෙයි මම මේ කියන්නෙ. එවැනි ආහාර හැකි තරම් සීමා කරන්න. ඒක හැම අතින්ම හොඳ දෙයක් ශරීර සෞඛ්‍යයට.
රුමටොයිඩ් ආතරයිටිස්වලට නිසි පරිදි ජලය පානයෙන් පහසුවක් දැනෙන්නේ ඇයි?
මෙම ආබාධය ඇති වෙන්නෙ ශරීරයේ සන්ධිවල අස්ථි වගේම ඒ ආශ්රිත පේශි පීඩාවට පත් කරමින්නෙ. හන්දිපත් වේදනාව, ඒවායේ නැමීම්, දිගහැරීම්වලට කරන බාධාවක්, සන්ධි ඉදිමීම සහ ආශ්රිත උණ ගතිය සහ අවසානයේ විකෘතිතා ඕක තමයි සරල විග්‍රහය.
ජලය වැඩිපුර පානය කරන කොට රුධිරයේ තරල යහපත් විදිහට වර්ධනය වෙනවා. එය සන්ධිවල සුමට ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍යයි. ඒ වගේම හොඳින් ජලය ලැබීම නිසා රුධිරයේ තිබෙන යූරික් අම්ලය ශරීරයෙන් බැහැර කිරීමට දායක වෙනවා. අවසානයේදී සන්ධිවලට විතරක් නෙවෙයි සමස්ත ශරීරයම නිරෝගී කරවනවා.
එහෙම බලද්දි පිරිසිදු ජලය කියන්නේ දිව ඔසුවක් නේද?
අනිවාර්යයෙන්ම. ජලය වගේම රෝගාබාධ සමනයට ස්වභාවික පාන වගේම, ඖෂධීය පාන ගැනීමක් ඉතාම වැදගත්.
ඒ පාන වර්ග නම් වශයෙන් පැහැදිලි කරොත්
ස්වභාවික පාන කියන්නේ තැඹිලි, කුරුම්බා වගේම සීනි නොයොදා සකස් කරන පලතුරු බීම ආදියට. ඖෂධීය පාන කියන්නේ වෙනිවැල් ගැට, පස් පංගුව, නෙල්ලි, රසකිඳ, බෙලිමල්, රණවරා, ඉරමුසු ආදිය තැම්බූ වතුරට වතුර සහ අනෙකුත් පාන ගැන කතා කරන්න ගියොත් පොතක් ලියන්න කරුණු කාරණා තියෙනවා.
වෛද්යාචාර්ය සාන්ත සෙනෙවිරත්න
කැඩුම් බිඳුම් – අස්ථි සන්ධි සහ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ දේශීය වෛද්‍ය
හොරිවිල මහ වෙද ගෙදර
අජන්ත ජයසේකර