ඕනෑම අනතුරුකදී රුධිර වහනයක් ඇතිවිය හැකිය. එලෙස ඇතිවන රුධිර වහනය නිසා බේරාගත හැකි ජීවිත පවා මරණවලින් කෙළවර විය හැකිය. මොළයට දැඩි අනතුරක් සිදු වූ අනතුරකදී රෝගියෙකු බේරාගැනීමේ ප්‍රවණතාව අඩු වුණත් හදිසි අනතුරක් නිසා බේරාගත හැකි රෝගීන් වැඩි ප්‍රමාණයක් මිය යන්නෙ රුධිර වහනය සිදුවීමෙන් බව දැකගත හැකිය. එම නිසා ඕනෑම අනතුරකදී රුධිර වහනය වළක්වා ගැනීමට කටයුතු කිරීම ඉතාම වැදගත් වේ. එය නිවසේදී වන ඇඟිල්ලක් කැපීමේ සිට පාරේදී සිදුවන රථවාහන අනතුරක් දක්වා විහිදෙනවා. එම නිසා ජීවිතයක් බේරාගැනීම සඳහා රුධිර වහනය ක්‍රමානුකූලව වළක්වා ගැනීම අතිශයින්ම වැදගත් වන බව පැහැදිලි වේ.
මිනිස් සිරුරේ රුධිර ලීටර් 5 ක්…
මිනිස් සිරුරේ රුධිරය ලීටර් 4 ක – 5 ක ප්‍රමාණයක් පවතී. ඉන් රුධිරය 25% ක් හෙවත් ලීටර් එකහමාරක ප්‍රමාණයක් ඉවත් වුණහොත් රුධිර පීඩනය ඉතාම අඩු මට්ටමකට පහළ බසින අතර හෘද ස්පන්දන වේගය ද ඉතා ඉහළ අගයකට යමින් එම රෝගියා අසාධ්‍ය තත්ත්වයකට පත්වේ.එමෙන්ම ශරීරයේ රුධිරයෙන් 40% ක් හෙවත් ලීටර් දෙකක ප්‍රමාණයක් ඉවත් වුවහොත් රෝගියා සිහිසුන් තත්ත්වයට පත්වේ.
හදිසි අනතුරකදී ළඟම රෝහල හොඳම රෝහල
ප්‍රධාන නහරයක් කැපුණු විට විනාඩි 2 ක් හෝ 3 ක් ඇතුළත අප ඉහත සඳහන් කළ ආකාරයේ රුධිර වහනයක් සිදුවිය හැකි බැවින් එම රුධිර වහනය වළක්වා ගැනීමෙන් තොරව රෝගියා රෝහල වෙත රැගෙන ගියහොත් ජීවිතක්ෂය පවා සිදුවේ. එම නිසා එවැනි රෝගීන් යම්කිසි ප්‍රථමාධාරයක් ලබාදෙමින්, රුධිර වහනය නවතමින්, ඉක්මනින් ළගම රෝහලට රැගෙන යාම ඉතා වැදගත් වේ. යම් හෙයකින් රුධිර වහනය නවත්වා ගැනීමකින් තෙරව රෝගියා ළඟම රෝහලට වුවත් රැගෙන යාමේදී විනාඩි 20 ක් හෝ 30 ක් වැනි කාලයක් ගතවුවහොත් රෝගියාට ජීවිත අවධානමක් ඇතිවේ.
රුධිර වහනය වළක්වාගනිමු
රුධිර වහනය ආකර දෙකකින් සිදුවිය හැකියි.
පිටත අවයවවලට හනිවීමෙන් පිටතට පෙනෙන රුධිර වහනය
අභ්‍යන්තර අවයවවලට හානිවීමෙන් අභ්‍යන්තර රුධිර වහනය
පිටතට පෙනන රුධිර වහනය කුඩා ආයාසයකින් වුවද නවත්වාගත හැකි බැවින් එය නවතා ගැනීම වැදගත් වේ. විශේෂයෙන්ම ධමනියකින් රුධිරය වහනයක් සිදුවුවහොත් එය වහා නවතා ගතයුතුය. එවැනි අවස්ථාවකදී කළ යුත්තේ පිරිසිදු රෙදි කඩක් හෝ අතට අසුවන ඕනෑම රෙදි කඩක් නවා රුධිර වහනය වන ස්ථානය මත තබා තද කිරීම හෙවත් ස්ථානීය පීඩනයක් ( Local Pressure ) ලබාදීමයි.
ඒ මඟින් රුධිර වහනය නවතා ගැනීමට හැකිනම් ඉන්පසු ඒ මත ක්‍රේප් බැන්ඩේජ් (Crepe Bandage) එකක් හෝ ඉතාම තදට යෙදිය හැකි වෙළුමක් යොදා රෝහල වෙත රැගෙන යෑම සුදුසු වේ.රෙදි කඩක් නවා තුවාලය මතට ස්ථානීය පීඩනයක් ලබා දී තිබියදීත් රුධිර වහනය අඛණ්ඩව සිදුවනවා නම් කළ යුත්තේ ටර්නිකියුට් (Tourniquet) එකක් භාවිත කිරීමයි. එහිදී කළ යුත්තෙ රුධිරය වහනය වන ස්ථානයට උඩින් ඉලාස්ටික් නොවන රෙදි පටකින් (Non Elastic) ගැටගසා එය තවත් තදවන විදිහට පෑනක් හෝ කෝටු කැබැල්ලක් තබා කරකැවීමයි.
එසේ කිරීමෙන් රුධිර වහන වන නාලයට දැඩි පීඩනයක් යොමුවේ. මෙහිදී මතක තබාගත යුත්තේ ටර්නිකියුට් (Tourniquet) එකක් දැමූවිට රුධිර ගමනාගමනය සම්පූර්ණයෙන්ම නතර වියහැකි බැවින් කකුලේ හෝ අතේ සිදුවන වෙනස්කම් සිදුවීමට පටන්ගැනීමයි. එම නිසා කකුල් හෝ අතක් මියයෑමෙන් වළක්වා ගැනීම සඳහා ඉතා ඉක්මනින් ළගම ඇති රෝහල වෙත රැගෙන යා යුතුය.
මෙහිදී අපට සිතන්නට සිදුවන්නේ කකුල හෝ අත බේරාගැනීමට වඩා රෝගීයාගේ ජීවිතය බේරාගැනීම සඳහා ටර්නිකියුට් (Tourniquet) භාවිත කළ යුතු බවයි.රුධිරය වහනය අධික වූ රෝගියෙකු යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා වහනය වූ රුධිර ප්‍රමාණය සරිලන රුධිර ප්‍රමාණයක් සහ සේලයින් ලබාදීම අත්‍යාවශ්‍ය වේ.
සුළු රුධිර වහනය වළක්වාගනිමු
අතක හෝ කකුලක සුළු රුධිර වහනයක් ඇති වූ විට වහාම කළ යුත්තේ එම අත හෝ කකුල තුවාලය සිදුවූ ප්‍රදේශයට වඩා ඉහළින් තබාගැනීමයි. රුධිර වහනය වන ප්‍රදේශයට ස්ථානීය පීඩනයක් යොමු කිරීමත්, අයිස් තැබීමත් මඟින් සුළු රුධිර වහනයක් පාලනය කළ හැකිය.
ප්‍රමිතිගත ප්‍රථමාධාර කට්ටලයක අවශ්‍යතාව
හදිසි අනතුරක් සිදුවන සමහර අවස්ථාවලදී අවශ්‍ය ප්‍රථමාධාර උපකරණ සොයාගැනීම අපහසු වන අතර එවැනි උපකරණ කට්ටලයක් ළඟ තබාගන්නට හැකි නම් බොහෝ අනතුරුවලින් සිදුවන මරණ වළක්වා ගතහැකියි. එම නිසා ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ බලාපොරොත්තුව වන්නේ වාහනයක ලයිසන් ඉන්ෂූරන්ස් වාගේම ප්‍රමිතිගත ප්‍රථමාධාර කට්ටලයක් ළඟ තබා ගැනීම දක්වා මෙරට රියදුරන්ගේ මනසේ ආකල්ප වෙනස් කිරීමයි. එවැනි තත්ත්වයක් ඇතිකිරීමට නීති ඇතිකිරීමටත් බලපෑම් කිරීමයි. ඒ නිසා ඉදිරියේදී අපේ මූලිකත්වයෙන් ප්‍රමිතිගත හදිසි අනතුරු උපකරණ කට්ටලයක් Stop The Beeding වැඩසටහන යටතේ වෙළෙඳපොළට හඳුන්වා දෙයි.
ප්‍රමිතිගත හදිසි අනතුරු උපකරණ කට්ටලයක තිබිය යුතු දේ
ගෝස් පැක් කිහිපයක්
සාමාන්‍ය බැන්ඩේජ් ( Cotton Bandage )
ක්‍රේප් බැන්ඩේජ් ( Crepe Bandage )
ටර්නිකියුට් කිහිපයක් ( Tourniquet )
මොට කතුරක්
ආය කටු කිහිපයක් ( Safety Pins )
මෙවැනි සෑම උපකරණ කට්ටලයකම නිෂ්පාදිත දිනයක් හා කල් ඉකුත්වන දිනයක් තිබිය යුතු වන්නේ එහි ප්‍රමිතිය ගැන අවබෝධයක් ලබාගැනීම සඳහායි. ප්‍රමිතිගත හදිසි අනතුරු උපකරණ කට්ටලයක තිබේදැයි අපි සොයා බැලුවට එසේ නොමැති බව දැනගත් බැවින් ඉදිරියේදී පහසු මිල ගණන් වලින් ඉතා සුරක්ෂිත කට්ටලයක් මහ ජනතාව වෙත හඳුන්වාදීම අපගේ බලාපොරොත්තුවයි.
ශල්‍ය වෛද්‍ය විශේෂඥ
කීර්ති අබේජීව
Chairman of trauma protocols and
guidelines committee, National trauma secretariat,
ශ්‍රී ලංකා ජාතික රෝහල
හරින්දී ලියනගේ