කැඩුණොත් ගන්න සල්ලි නෑනේ
ඔබේ කුස්සියෙ තියෙන උපකරණ වැඩි කාලයක් පාවිච්චි නොකර නිකරුණේ කැඩිලා යනවාද? මෙයට ප්‍රධානම හේතුව වන්නෙ ගොඩක් ගෘහණියෝ මේ උපකරණ හරිහැටි භාවිත කරන විදිහ, පිරිසිදු කරන විදිහ, ගබඩා කරන විදිහ නොදන්න එක.
පිහි
පිහිවල කල්පැවැත්ම හරියාකාරව තියා ගන්න නම් මස් කපන්නයි එළවළු කපන්නයි පාන් කපන්නයි හැම එකටම එකම පිහිය භාවිත කරන්න එපා. ඒ ඒ වැඩවලට අදාළ විදියට නිමවපු පිහි වර්ග තියෙනවා. මේ මොන වර්ගයෙ පිහියක් පාවිච්චි කළත් භාවිතයෙන් පස්සෙ සෝදලා පිහිදලා ගබඩා කරන්න ඕනෙ.
ඔබ කුස්සියට ඕන කරන පිහි මිලදී ගනිද්දී මල නොබැඳන වර්ගයේ පිහි තෝරාගැනීම නුවණට හුරුයි. පිහියක මුවහතේ කල්පැවැත්මට භාවිත කරන කටින් බෝඩ් එකත් බලපානව. වීදුරු, ඝණ ලී සහ ඝණ ප්ලාස්ටික් තමා පිහියක පැවැත්මට හුඟක්ම සුදුසු බෝඩ් වර්ග. තුනී ප්ලාස්ටික් සහ පදම් නොවුන ලී වලින් හදපු කටින් බෝඩ් පිහිවල පැවැත්මට ඒ තරම් සුදුසු නෑ.
බ්ලෙන්ඩර්
ගොඩක් ගෘහණියෝ කියන දෙයක් තමයි අලුතෙන් ගන්න බ්ලෙන්ඩර් පොඩි පාවිච්චියකට පස්සෙ හිරවෙලා කැඩිලා යනවා කියන එක. සමහරක් නෝනලා බැදගන්න පහේ ටික උණු උණුවෙන්ම ග්‍රයින්ඩරේට තොග පිටින් පුරෝලා ග්‍රයින්ඩ් කරන්න ගිහින් මෝටරේ පුච්ච ගන්නව. එහෙමත් නැත්නම් උඳු, හාල් වගේ බර දේවල් එක පාර ලොකු ප්‍රමාණ බ්ලෙන්ඩ් කරගන්න හදනවා.
මැෂින් එකකට වුණත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවනෙ. මේ නිසා හැම විටම බ්ලෙන්ඩරේකට දරාගන්න පුළුවන් ප්‍රමාණ ගන්න. ඒ වගේම දුම් දාන රස්නෙන් දේවල් බ්ලෙන්ඩ් කරන එකෙන් මෝටරයට වගේම බ්ලෙන්ඩර් එක රබර් බුශ් එකට හානි වෙන්න පුළුවන්. එක පාරම ඔන් කරගෙන එක දිගට බ්ලෙන්ඩ් කරන්නත් එපා. නතර කරමින් තප්පර කීපයක විවේකයක් ඇතුව බ්ලෙන්ඩ් කරන්න.
ඔය බ්ලෙන්ඩර් එකේ සහ ග්‍රයින්ඩර් එකේ තලය සහිත කොටස වෙනම ගලවල පිරිසිදු කරන්න භාවිතයෙන් පස්සෙ. තල හරි හැටි පිරිසිදු නොවුනම ඉක්මණින් මුවහත නැතිවී යනවා. ඒවගේම බ්ලෙන්ඩර් එකේ දැති ටික කැරකෙන එක නතර වුණාමයි ඒ කප් එක ඉවත් කරගන්න ඕනෙ.
බ්ලේඩ් කැරකිලා නතර වෙන්න කලින් බ්ලෙන්ඩර් කප් එක ඉවත් කරන එකෙන් යටින් ඇති රබර් බුශ් කැඩිල යනවා. සමහර බ්ලෙන්ඩර්වල වේගය පාලනය කරන්න පුළුවන්. බ්ලෙන්ඩරයක් ක්‍රියාත්මක කරපු ගමන් ඉතා දැඩි වේගයකින් මිශ්‍ර වෙන්න ඉඩ දෙන්න එපා. ඒ වගේම බ්ලෙන්ඩරය ක්‍රියා විරහිත කිරීමේ දී එක පාරට වහලා දාන්නේ නැතුව ක්‍රමක්‍රමයෙන් වේගය අඩු කරන්න ඕන.
අවන්
ස්ටව් ටොප් එකත් එක්ක එන ලොකු අවන් සහ පැන්ට්‍රිය උඩින් තියන්න පුළුවන් කුඩා ප්‍රමාණයේ අවන් එකක් තමයි සාමාන්‍ය ගෘහස්ථ භාවිතයේ තියෙන්නෙ. මේවාගෙන් සමහරක් ගෑස් අවන් තව සමහරක් ඉලෙක්ට්‍රික් අවන්. මොන වර්ගයේ අවන් එකක් වුණත් නිසි විදියට පාවිච්චි නොකළොත් වැඩි කාලයක් භාවිත කරන්න වෙන්නෙ නෑ. අවන් එක රත් වෙන එක කියන්නෙ දෙයක් නිසා මේ අවට තාපය මුදා හරින්න තරමක ඉඩක් අවශ්‍යය. නිසි ලෙස තාපය පිට නොවීම අවන් එකේ ක්‍රියාකාරිත්වයට අහිතකරයි.
සාමාන්‍යයෙන් අවන් එකට මොන දෙයක් බේක් වෙන්න දැම්මත් බොහෝ රෙසිපිවල ප්‍රීහීට් කරන්න කියලා තියෙනවා. මේ නිසා අවන් එකක් ප්‍රී හීට් කරන්න කලින් අවන් එක ඇතුල මතක ඇතුව පරික්ෂා කරන්න. සමහරු අවන් නිතර පාවිච්චි නොකරන නිසා ඕවා ඇතුළෙ නොයෙක් බඩු තැන්පත් කරනව. ප්ලාස්ටික් හෝ රෙදි හෝ වීදුරු වගේ දෙයක් තිබ්බොත් අනතුරක් වුණත් වෙන්න පුළුවන්. තරමක ලොකු අවන් එකක් නම් ඒක භාවිත කරන වෙලාවට වෙනත් ඒ වාගේම වැඩි විද්‍යුතයක් වැයවෙන උපකරණ භාවිත නොකරනවා නම් වඩාත් සුදුසුයි.
ගොඩක් දෙනෙක් අවන් එකක් ගෙනාපු දවසේ ඉදන් කැඩිලා භාවිතයෙන් ඉවත් කරනකම් පිරිසිදු කිරීමක් ගැන හිතන්නෙ නෑ. ඒ නිසා සෑම භාවිතයකින් අනතුරුවම පිරිසිදු කරන්න ඔබ වග බලාගන්න ඕන. ඇමෝනියා භාවිතයෙන් අවන් එක පිරිසිදු කරගන්නත් පුළුවන්. මුලින්ම සෙල්ෂියස් අංශක 200 ට අවන් එක රත් කරලා සම්පූර්ණයෙන් ක්‍රියා විරහිත කරනවා.
ඊට පස්සේ භාජනයක ඇමෝනියා තියලා ඒක අවන් එක මැදින් තියනවා. එයට පහළින් උණු වතුර පිරුණ භාජනයක් තියලා රැයක් පුරාවට තියන්න. ඒ වගේම අවන් එක දොරේ ඇති රබර් ගැස්කට් එක පළුදු වෙලා නම් ඇද වෙලා නම් එය සකසා ගන්න මතක තබාගන්න. ඒක අවන් එකට වගේම ඔබේ විදුලි බිලටත් හානිකරයි.
ශීතකරණ
ශීතකරණය අපි ස්ථානගත කරන්න ඕනෙ හිරු එළියට කෙළින්ම ආවරණය නොවෙන, අවන් එකට නැත්නම් ගෑස් කුකර් එකට ළඟින් නොවෙයි. ශීතකරණයේ උඩ තට්ටුවත් බඩු ගබඩාවක් කරන්න අපි පුරුදු වෙලා ඉන්නවා. නමුත් එතනින් තමයි මෝටරෙන් ඉපදෙන තාපය පිටවෙන්නේ.ශීතකරණයක කල් පැවැත්මට එහි පිරිසිදුකම අනිවාර්යෙන් බලපානව. දොරෙහි ඇති රබර් ගැස්කට්වල පුස් සහ කුණු හයිඩ්රජන් පෙරොක්සයිඩ් පෙඟවූ රෙද්දකින් පහසුවෙන් ඉවත් කරගන්න පුළුවන්.
අළුත් තාලෙ ශීතකරණවල නැති වුණාට පරණ ශීතකරවල පිටුපස ජලය එකතු වෙන පොඩි ප්ලාස්ටික් බඳුනක් තියෙනව. මේ බඳුන නිතරම බලල පිරිල ඉතිරිලා යන්න කලින් පිරිසිදු කරගන්න. ඒ වගේම පරණ ශීතකරණවල ශීතකරණය පිටිපස්සේ තියෙනවා දඟර වගයක්. මේවා පිරිසිදු නොකෙරුවොත් ශීත කිරීමේ කාර්යය හරියට සිද්ධ වෙන්නේ නෑ. ශීතකරණයක බඩු තැන්පත් කරන්න ඕනෙත් එයින් උපරිම ප්‍රයෝජනයක් ලැබෙන විදියට. කල්පැවැත්මට ඒකත් බලපානවා.
රයිස් කුකර්
පළවැනි කාරණය තමයි රයිස් කුකර් එක ඇතුළේ තියෙන බඳනේ බද ඉස්සෙල්ලාම වතුරින් නෑවිලා නම් ඒක පිහදාගෙන ඉන්න ඕනි. එහෙම නොකළොත් ඒකෙන් බතට වගේම කුකර් එකේ උෂ්ණත්වය සම්බන්ධයෙනුත් ප්‍රශ්න ඇති කරවනවා. බත් එක උණුවෙන් තියාගන්නවා නම් ඒක පැය 5 කට 6 කට සීමා කරගන්න.
රයිස් කුකර් එකේ බත් නැතුව එළවළු තම්බාගන්න, සුප් හදාගන්න යනවා නම් ඒ සම්බන්ධයෙන් ටිකක් ප්‍රවේශම් වෙන්න ඕනි. ඕනෑවට වඩා අමුද්‍රව්‍ය එකතු වුණාම එතන දී රයිස් කුකර් එකේ සැකැස්මෙන් පිට දෙයක් නිසා වැඩේ අවුල් යන්න පුළුවන්. ඇතුළ පිරිසිදු කරනකොට පුළුවන් තරම් මුදු ස්පොන්ජ් කෑල්ලක් තෝරාගන්න. අඩියේ තියෙන දේවල් හූරලා හෝදන්න යන්න එපා. පෙඟෙන්න ඉඩ තියලා හෝදලා දාන්න.
පාන් ටෝස්ටර්
ශීතකරණය වගේම මේකත් රස්නයෙන් ඈත් කරලා තියාගන්න ඕනි. ගිනිගන්න වුණත් පුළුවන් මොකක් හරි අක්‍රමවත් දෙයක් වුණොත්. භාවිත කරන්නේ නැති අවස්ථාවල ගලවලා තියන එක තමයි නුවණට හුරු. පාන් කුඩු වගේ දේවල් රැඳිලා තියෙනවා. මේවා සම්පූර්ණයෙන්ම පිරිසිදු කළ යුතුයි. සමහර ටෝස්ටර්වල මේ ටෝස්ට් කරන කොටස ට්‍රේ එකක් වගේ ඉවත් කරගන්න පුළුවන. පාන් කුඩු වැටුණ ට්‍රේ එක එළියට අරගෙන සබන්වලින් උණුවතුරින් සෝදාගත යුතුයි. පිටත පිරිසිදු කරනකොට ටෝස්ටරේ සම්පූර්ණයෙන්ම කූල් එකේ තියෙන්න ඕනි.
නන්ස්ටික් භාජන
කාර්යබහුලකමත් එක්ක මැටි වලන් ටික ටික ඈත් වෙලා නන්ස්ටික්, සෙරමික් භාජන වැඩියෙන් අපේ ගෙවලවලට ඇවිත්. මේ නන්ස්ටික් භාජන වැඩි කාලයක් පාවිච්චි කරන්න බෑ කියන එක හුඟක් ගෘහණියන්ගෙ මැසිවිල්ලක්. මේ නන්ස්ටික් භාජන කල් තියාගන්න නම් ඒව නිසි විදියට භාවිත කරන්න ඕනෙ. ස්ටීල් වූල්වලින් සෝදන්නෙ නැතුව මේව පිරිසිදු කරන්න ස්පොන්ජ් එකක් පාවිච්චි කරන්න.
ඒ වගේම ආහාර පිසීමේදී නන්ස්ටික් වලටම එන ප්ලාස්ටික් හැඳි භාවිත කිරීමෙන් සීරීම් වළක්ව ගන්න පුළුවන්. යමක් පිසීමෙන් පසු නන්ස්ටික් භාජනය හොඳින් නිවෙන්න තියල රස්නය නැති උනාට පස්සෙ සෝදගන්න. බිත්තරයක් බැද්ද ගමන් ඒ රස්නෙ පිටින්ම ටැප් එකට අල්ලල කලබලේට සෝදන එකෙන් නන්ස්ටික් භාජනවල නන්ස්ටික් ගතිය නැති වෙලා යනව.
( අන්තර්ජාලය ඇසුරෙන් )
අර්චිත ඉඳුවර