බොහෝ පළාත්වලට නියඟය හමාර කරමින් මහ වැහි ඇදහැලෙනවා. වතුර නැතිව ආඳෝනා කියපු සමහරු, දැන් ගංවතුරට ආඳෝනා කියනවා. නියඟය සහ ගංවතුර දෙකම ආපදා තත්ත්වයන් තමයි, ඒත් ඉතින් හිරු එළිය සහ ජලය කියන්නේ ලෝකය වගේම ජීවය පවතින්න අත්‍යවශ්‍යම සාධක දෙකක්. ජලය ගැන ගොඩක් විස්තර කතා කරපු නිසා මේ සතියේ හිරු එළිය ගැන වෙද මහත්තයා එක්ක කතා කළා. මේ සටහන තබන මොහොතේ දීර්ඝ නියං සමය නිමා කරමින් හොරිවිලටත් වැසි පතිත වන බව වෙද මහත්තයා කිව්වා.
හිරු එළියත් ජලය වගේම ප්‍රතිකාරයක් විදිහට යොදා ගන්න පුළුවන්ද?
මේ විවරණයන් පාඨකයන්ට ගොඩක් වැදගත් වෙයි.ආයෙ මොකද නැතුව අපේ මහත්තයා හිරු එළිය කියන්නෙත් ජලය වගේම ඉතාම හොඳ ප්‍රතිකාරයක්. මේ දෙකේම හොඳ නරක දෙකම තියෙනවා. මානවයාගේ නිරෝගී බව පවත්වා ගෙන යන්න සොබාදහම අපට ලබා දීලා තියෙන දායාද හතරක්. ඒ තමයි,
හිරු එළිය
ජලය
ඔක්සිජන්
තුරුලතා
ඔය හතර මානවයා විසින්ම සීඝ්රයෙන් විනාශ කරමින් ඉන්නවා.
හරියට හරි. ඒක තමයි හැබෑම අවාසනාව. ජලය අපිරිසිදු කරලා කුණු ජරාව දාලා. තණකොළ විනාශ කරනවා මදිවාට විවිධ විෂ දුමාරවලින් වාතය අපිරිසිදු කරනවා. කැළෑ කැපීම නිසා ඔක්සිජන් අඩු වෙනවා වගේම ජල මුලාශ්‍ර සිඳී යනවා. හිරු විනාශ කරන්න බැහැ. හැබැයි මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා ගෝලීය උෂ්ණත්වය වැඩි වෙලා ග්ලැසියර දිය වෙනවා, නියඟය ඇති වෙනවා. මිනිසා විසින්ම මිනි වළ කපා ගනිමින් ඉන්නවා
තද හිරු එළියට සම නිරාවරණය වීම ඉතා හානි කරයි. මේ තත්ත්වය ඇති කරන්නේ සූර්ය රශ්මියේ තියෙන පාරජම්බුල කිරණ නේද?
ඔව්. නමුත් ඔතන ප්‍රභේද දෙකක් තියෙනවා. ඒ බව විද්‍යාඥයන් සනාථ කරලා තියෙනවා. ඒ තමයි,
අල්ට්රා වයලට් – A
අල්ට්රා වයලට් – B
මෙතනදිද අල්ට්රා වයලට්, එහෙමත් නැත්නම් පාරජම්බුල A ප්‍රභේදය සම තුළින් ගමන් කරලා ශරීරය තුළට යනවා. අල්ට්රා වයලට් B තැන්පත් වෙන්නේ සම මතුපිට. එයින් සිදුවන්නේ සමේ පැහැය වෙනස් වෙන එක. හැබැයි අඳුරු සමක් සහිත අපි වාසනාවන්තයි.
ඒ මොකද?
මෙලනින් වර්ණකය සමේ තියෙන නිසා අපි ආරක්ෂිතයි. ඔය අහිතකර බව එක්කම උදෑසන හිරු එළියට නිරාවරණය වීම තුළින් ශරීරයට අවශ්‍ය කරන විටමින් D නිපදවා ගන්නත් පුළුවන්. පසුගිය දවස්වල නිතර ඇහුණු දෙයක් තමයි,මොන කරුමයක්ද මන්දා මේ පෑවිල්ල. හම පිච්චිලා ගිහින් වගේ. රෑට නින්දක් නැහැ දාඩිය ගලනවා.
ඒ උදවියට දැන් කියන්නේ මොනවද?
අනේ ඇත්තට මොන කරුමයක් මන්දා? මොන විනාශයක්ද අප්පා මෙහෙම වහින්න ගියාම ඇඳුමක් වේලා ගන්නවත් නැහැ. එහෙත් ගංවතුර, නාය යෑම් ගම්වල අය මෙහෙමත් කියනවා. බතක් මාළු පිනියක් උයා ගන්න දර, පොල් කොළයක් නැහැ. දිය බත් වෙල
සූර්ය නමස්කාරය හොඳ ප්‍රතිකාරයක් නේද කායික මානසික නිරෝගීතාවයට?
පුරාණ ඇත්තෝ පාන්දර අවදි වුණේ බ්‍රහ්ම මුහුර්තියෙන් දවස පටන් ගන්න. ඒ කියන්නෙ පාන්දර 4.30 – 5.00 අතරෙ. බටහිර පන්නෙට හිතන අයට නම් මේවා විහිළු වගේ ඇති. හරි ඒක පැත්තක දාන්නකො. පාන්දරින් අවදි වීමම ගොඩක් වටිනවනෙ. ඒ කාලෙ අවදි වුණු හැටියෙම කළේ මැටි කළයෙන් වතුර බොන එක. ඊළඟට කොළ කැඳ එකක් බීලා හේනට කුඹුරට යනවා.
අට නමය වෙනකම් ගජරාමෙට වැඩ. විටමින් D නිපදවීමට අවශ්‍ය හිරු එළියට ශරීරය නිරාවරණයි. උදේට කන්නෙ ඉන්පස්සේ. එක්කො දියබත්, කුරහං රොටි වගේ දේවල්. ඊළඟට ආයෙමත් වැඩ. ඒ ගැම්ම ආයෙ නතර වෙන්නෙ ඉර අවරමට යන්න අරන් පැය එකහමාරකට දෙකකට පස්සෙ.
අද කාලෙ සූර්ය ස්නානය කියලා එකකුත් තියෙනවා නේද ?
ඔය හැමදේම අපේ උරුම මහත්තයො. ආදී කාලෙ ඉඳලම වුණේ අපේ දේ විදේශිකයෝ කොල්ල කාපු එක. විභීෂණව රටට්ටලා රාම හුඟක් දේ අරන් ගියා. රජකම ලැබුණු නිසා විභීෂණ කට වහගෙන හිටියා. අද වෙන්නෙත් ඒක. ඔය සූර්ය ස්නානය අපේ පුරාණ ගොවියා නොදැනුවත්වම සිදු කළා. පෙරවරුවේ අර විදිහට වැඩ කළ නිසා, හිරුඑළියට නිරාවරණය වෙලා.
අද කාලේ සූර්ය ස්නානාය කියලා කරන්නේ තුවායක්, කොට කලිසමක් හරි ඇඳගෙන දහයට විතර අව්වෙ වාඩි වෙලා ඉන්න එකනෙ පැය දෙකක් විතර. ඉස්සර ගොවියෝ අමුඩෙ ගහගෙන උදේ වරුවම වැඩ කළා. දාඩිය වගුරවගෙන. වැඩ කිරීම තුළින් හොඳ ව්‍යායාමයකුත් ලැබුණා. දෙකෙන් කොකද වැඩිය හොඳ අපේ මහත්තයා.
වෛද්යාචාර්ය
සාන්ත සෙනෙවිරත්න
කැඩුම් බිඳුම් – අස්ථි සන්ධි සහ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ දේශීය වෛද්‍ය
හොරිවිල මහ වෙද ගෙදර
අජන්ත ජයසේකර