බොන්සායි ශාකයක් නිර්මාණයේ දී එහි හැඩතලයන් ගැන සහ එහි ඇති විවිධ ක්‍රියාවන් පිළිබඳ සැලකිලිමත් වනවා වගේම ශාකයට වැළදෙන රෝග පිළිබඳවද අප සැලකිලිමත් විය යුතුයි. රෝගයක් බොහෝ විට බොන්සායි ශාකයක මුල් අවධියේම හෝ නිර්මාණය අවසානයේ දී වැඩිපුරම දක්නට ලැබෙන අතර නිර්මාණය පිළිබඳව නිවැරදි අවබෝධයකින් යුතුව එය කළමනාකරණය කර ගනිමින් පවත්වාගෙන යා යුතුයි. මෙහිදී නිරීක්ෂණයේ යෙදීම දිනකට වරක් කිරීමත් රෝග තිබේදැයි රෝගයක් පටන්ගැනීමේදීම අපට දැනගන්නට පුළුවන්.
රෝගයක් හඳුනාගත් විගස එය වළක්වා ගන්නේ කෙසේ දැයි තීරණය කළ යුතුය. අතපසුවීමකින් හෝ හිතාමතා කල් හැරියහොත් ශාකයට රෝගය වැළඳී ශාකය විනාශ වීමට ගතවන්නේ ඉතා කෙටි කාලයකි. වැළඳී ඇත්තේ සාමාන්‍ය තත්ත්වයේ රෝගයක් වුවත් කාලයක් ගත වූ පසු එය ව්‍යාප්ත වී විශාල ලෙස දරුණු මට්ටමකට පැමිණිය හැකි මෙවන් අවස්ථාවකදී ශාකය බේරාගැනීමට ඇති ප්‍රවණතාව ඉතාමත් අඩුයි. වැළඳෙන රෝග විවිධ ආකාරයෙන් පැමිණිය හැකියි.
රෝග, අනවශ්‍ය ලෙස කඳ දිරායාම, කොළ ගැලවීම, අතුරිකිලි මැරීම, කොළ කහ වීම, පණු ආසාදන, පසේ ඇති වන ආසාදන, තන්තු මුල් කුණුවීම, කොළ පුල්ලි වැටීම, එකවර ශාකයේ අඩක් ඉතිරිවී අඩක් මැරීයාම ඒ අතුරින් කිහිපයකි. මෙම රෝගවලට වැළැක්වීමේදී එක් රෝගයක් වාගේම බොහෝ අවස්ථාවන්වලදී රෝග කිහිපයක් ම එකවර වැළඳීමට ඉඩ තිබේ.
එසේ වූවොත් රෝගයන් කිහිපයකටම වශයෙන් ප්‍රතිකාර නොකර සියල්ලටම එකවර ප්‍රතිකාර කිරීමට අපට සිදුවේ. කොළ කහ වීම සහ කොළ පුල්ලි වැටීම් බොහෝ විට ජලය මාරු වූ අවස්ථාවන් වලද අපට දැකගන්නට පුළුවන්. එවිට හැකි ඉක්මනින් ජලය මාරු කර නැවත පෙර යෙදූ ජලයම ශාකයට දැමීමෙන් ඒ තත්ත්වය වළක්වා ගැනීමට අපට පුළුවන්.
මෙම රෝගයෙහි වැළඳීමට ඇති අවස්ථාවන් කිහිපයක්ම ඇත. කිවුල් ජලයද, ශාකයකට කිවුල ඇති ජලය යෙදූ විටද අපට මේ තත්ත්වය දැකගන්නට පුළුවන්. ඒ වාගේම බඳුනට ජලය වැඩි වී නිතර තෙතමනය සහිතව තිබුණුහොත් එවිටද මේ තත්ත්වය දැකගන්නට පුළුවන්. ඒ නිසා කොළ කහ වන රෝගය වැළඳී ඇත්තේ කුමක් නිසාද යන්න දැනගැනීමට තරමක් අපහසු බැවින් එය හොඳින් අධීක්ෂණය කර ප්‍රතිකාර කිරීම ඉතාම වැදගත් වනවා.
ශාකයක අතු පන්ති මැරීම යන රෝගය බොහෝ විට සිදුවන්නේ පැඟිරි කුලයේ ශාකවලටයි. අනෙකුත් කුලයන්ගේ ශාකවලටද එම රෝගය වැළඳීමට තරමක් ඉඩ ඇත. මැරීම සිදුවන අතු ශාකයට අදාළ මූල මණ්ඩලය පණුවන් විසින් කා දැමීම හෝ අතු ශාඛාවන්ට පොහොර, ජලය ගෙන යන මාර්ගයන් (මූල පද්ධති) තැම්බීම, කුණු වීම වැනි දේවල් සිදු වුවහොත් මෙවැනි තත්ත්වයන් දැකගන්න අපට පුළුවන්. එවැනි අවස්ථාවකදී ශාකය ගලවා මූල පද්ධතිය සහ පස නිරීක්ෂණය කිරීමෙන් පණුවන් කා දැමීමක් ද එසේත් නැතිනම් මූල මණ්ඩලය කුණුවීමක්ද, තැම්බීමක්ද යන නිගමනය කළ හැකියි.
පණුවන් කා දැමීමක් නම් අදාළ පණුවා ඉවත්කර පස මුල් හොඳින් තෙමෙන ආකාරයෙන් දිලීර නාශකයක් යෙදූ පසු නැවත සිටුවිය හැක. මූල මණ්ඩලය කුණුවීමක් හෝ තැම්බීමක් නම් ජලය වැඩිවී ඇත්ද පස අනවශ්‍ය ලෙස රත් වනවාද යන්න සොයා බලා ඊට අවශ්‍ය පියවර ගත යුතුය.
බොන්සායි ශාක තුළ බහුලවම පුස් රෝග දැකගැනීමට පුළුවන්. එය සාමාන්‍යයෙන් කඳෙහි මතුපිට හෝ පත්‍ර පිටපැත්තේ හටගන්නට පුළුවන්. එවන් අවස්ථාවකදී පුස් සෑදී ඇති ස්ථාන සියුම් ආයුධයක් ආධාරයෙන් පොත්තට හානි නොවන සේ සූරා ඉවත් කළ යුතුයි. ඉවත් කරගත් පසු කඳ හොඳින් සේදී යන ආකාරයට පුස් රෝගය සඳහාම නිර්දේශ කෙරූ දිලිර නාශකයක් භාවිත කිරීම වඩාත්ම සුදුසු ක්‍රමයයි.
පසෙහි ඇතිවන දිලීර ඇතුළු සියලුම ආසාදන තත්ත්වයන්ට වෙළෙඳ පොළෙහි දිලීර නාශක ඇතත් රෝගය වැළදීමට පෙර පස නිර්මාණය කරන අවස්ථාවේදීම දිලීර ඇතුළු නොවීමට ඇති ක්‍රමයන් භාවිත කිරීම මගින් කාලයත් මුදලත් ඉතිරි කරගැනීමට අවස්ථාව ලැබේ. පස සාදන අවස්ථාවේදී පස ජීවානුහරණය කර ලබාගැනීම, පස සාදා අවසන් වූ පසු එය හොඳින් තෙමී යන ආකාරයට දිලීර නාශකයක් යෙදීම, පස් මාධ්‍ය තුළ දිලීර ආසාදනය වැළැක්වීමට ඇති ඉතා ගුණදායි ද්‍රව්‍යයක වන පිළිස්සූ කොට අඟුරු යෙදීම වැනි කුමයන් මේ අතර වේ.
බොන්සායි ශාකයක අනවශ්‍ය ලෙස පිපුරුම්, ඉරි තැලීම් වැනි පළුඳු තිබුණහොත් ඒවා නිසි ලෙස බද්ධ වීමට පළුඳු වූ තැන ඉතා තදින් වෙලීමක් සිදුකළ යුතුයි. බද්ධ වීම සිදුනොවුණහොත් සහ එය සාර්ථක නොවුණහොත් ඒ සඳහා ඉතා ඉක්මනින් අවශ්‍ය පිළියම් ගත යුතුයි.
එසේ නොවුණහොත් පළුඳු වූ ස්ථානයේ සිට එය දිරාගොස් අත්ත බිඳීයාමට ඇති ඉඩකඩ වැඩි වේ.මෙය බොහෝ විට සිදුවන්නේ පිපුරුම් තුලට ජලය ඇතුළුවීම මඟිනි. එම නිසා ජලය ඇතුළු වීමට ඇති ඉඩකඩ වළක්වා ගැනීමට පියවර ගත යුතුයි. එම ශාකයේ අලංකාරත්වයට වැදගත් යැයි හැඟෙන්නේ නම් දිරුම තමන්ට අවශ්‍ය විලස විහිද ගිය පසු අදාළ ක්‍රමයන් ආධාරයෙන් එය වැළැක්විය හැකිය.
බොන්සායි සදහා සුදුසු ශාක අවට පරිසරයෙන් සොයාගනු ලබන ඒවා වන නිසා සෑදී ඇති ශාකද කඳද පළුදු වී ඇතිදැයි ශාකය නිරෝගි භාවයෙන් පරිපූර්ණයිද යන්න සොයාබලා ඉතාමත් ගුණාත්මක හා නිර්මාණය සඳහා සුදුසු ශාක තෝරා ගත යුතුවේ. එසේ නොකළහොත් ශාකය සිටුවා පුහුණු කිරීම ආරම්භ කරන අවස්ථාවේ දී පෙර තිබූ රෝග ලක්ෂණ ඉස්මතු වීමට පුළුවන්. තවද මූලාරම්භයේ සිටම නිර්මාණය සිදුකරන ශාකය පිළිබඳ හොඳ අධීක්ෂණයෙන් සිටිය යුතුයි.
Forest (වනාන්තර) වැනි නිර්මාණයන් සිදුකිරීමේදී ශාක කීපයක් යොදාගනු ලබන අතර එහි එක් එක් ශාකයෙහි මේ පිළිබඳ අවධානය යොමුකළ යුතුවේ. එක් ශාකයකට පමණක් මෙහිදී රෝගය වැළඳුණහොත් එම ශාකය පමණක් ඉවත් කිරීම ප්‍රමාණවත් වුවත් පණුවන් මුල් කා දැමීම යනු රෝගයට එය භජනය වුවහොත් එය ප්‍රමාණවත් නොවේ. ඒ සියලුම පස් මාධ්‍යය ඉවත්කර රෝගය හදුනාගැනීමට සිදුවේ.මේ කාරණා පිළිබඳ දැනුවත් වී සියලුම රෝග හඳුනාගනිමින් ශාකයක් නිර්මාණය කිරීම තුළින් විශාල ඉහළ ගුණාත්මක භාවයකින් යුතු බොන්සායි නිර්මාණයක් ඔබ සතු කරගත හැකිවේ.
තායිලන්ත බොන්සායි සංගමයේ
ශ්‍රී ලංකා සාමාජික
නඳුන් පියුමාල් තිලකරත්න
එරංදි කෞශල්‍යා