මේ රටේ බහුතරයක් සැමියන්ට සහ බිරින්දෑවරුන්ට නිසි අවබෝධයක් නෑ පවුල් ජීවිතයක් හරියට ගෙනියන්නේ කොහොමද කියලා. ඊටපස්සේ වෙන්නේ අම්මා තාත්තා අතර ඇතිවන ප්‍රශ්න දරුවන්ටත් බලපාන එක. සරලව කිව්වොත් පවුල් ජීවිතය ඇතුළේ පැවතිය යුතු ස්වභාවික සම්බන්ධයන් ගැනවත් නිසි අවබෝධයක් මේ දෙගොල්ලන්ටම නැහැ. ඒ අතරින් බෙහෙවින්ම බලපාන දෙයක් තමයි ලිංගිකත්වය ගැනවත් සැමියා, බිරිඳ අතර නිසි සන්නිවේදනයක් නොමැතිකම.
ලිංගිකත්වය වැහිලා තියෙන්නේ මේ රටේ තියෙන සංස්කෘතියෙනුත් සභ්‍යත්වයෙනුයි. තමන්ගේ ජීවිතය මැද්දට ඔය අනවශ්‍ය සදාචාරකම්, අයිතිවාසිකම්, සංස්කෘතිය වගේ දේවල් ඔබාගෙන ඉන්න තාක් දෙන්නට දෙන්නා පේන්නෙ නැහැ. මොකද දෙන්නව වැහිලා තියෙන්නෙ අර දේවල්වලින්. එතනින් පස්සේ එතැන ඇති වෙන්නේ විශාල ගැටුමක්. මේක නොවිසඳෙන ප්‍රශ්නයක් දක්වා ගිහින් දික්කසාදයකින් කෙළවර වෙනවා.
දික්කසාදයකට යනවනම් එතනදී කාරණා කිහිපයක් ගැන අවධානය යොමු කරන්න ඕනෙ. දික්කසාදයකට හැමෝටම දෙන්න එක උත්තරයක් නෑ. දරුවන් ඉන්නවා නම්, බිරිඳ ආර්ථිකව ශක්තිමත් නැත්නම් අති පීඩාකාරී විවාහයක වුණත් ඉවසගෙන බොහෝ කාන්තාවන් රැඳිලා ඉන්නවා. කාන්තාව දන්නේ නෑ ප්‍රශ්නයක් ආවම ඒක එළියට දාන්න ඕන විදිහ. එහෙම ප්‍රශ්නය හරි විදිහට එළියට දාන්න බැරිවෙන තාක් කල් සැමියාගේ ග්‍රහණය වැඩි වෙනවා. පවුලක ඇතිවන ගැටුම් වලදී බොහෝ විට පිරිමියා දිනනවා. මොකද කාන්තාවට වඩා කතාවක් සකස් කිරීමේ දක්ෂතාවයක්, හැකියාවක් පිරිමියාට තියෙන නිසා.
දික්කසාදයක දී කුඩා දරුවන් ඉන්නවා නම් බොහෝ විට දරුවන්ගේ අයිතිය හිමි වෙන්නේ අම්මට. එහෙම වුණොත් හිතේ තියෙන ශක්තියට කොහොමහරි තමන්ගේ දරුවන්ව හදාවඩාගන්න, පෝෂණය කරන්න ඔවුන් මාර්ගයක් හොයාගන්නවා. ආදි කාලෙ ඉඳන් සමාජය නිර්මාණය කරලා තියනවනේ සන්දර්භයක් ‘පිරිමියෙක් නැතුව ගැහැනියකට ජීවත් වෙන්න බෑ’ කියල. හැබැයි හැම අම්මා කෙනෙක්ටම තනියම හරි තමන්ගේ දරුවා හදාගන්න ශක්තියක් නිකම්ම ලැබෙනවා ඔය දික්කසාදය එක්ක.
දරුවෙක්ට තමන්ගේ අනන්‍යතාවය ගොඩනගාගන්න අම්මගේ තාත්තගේ ශක්තිය ගොඩක් බලපානවා. අම්මට ශක්තියක් තියෙනවා නම් දරුවො තනියම හදාගන්න, විවාහය පීඩාකාරී නම් එතනින් ගැලවෙන එකේ කිසිම වැරැද්දක් නෑ. අපේ අම්මා, තාත්තා ගොඩක් හිතන දෙයක් තමයි දෙමාපියන් දික්කසාද වුණාම දරුවෝ සමාජය ඉදිරියේ ලැජ්ජාවට, අපහසුතාවයට පත් වෙනවා කියන එක. හැබැයි බාහිර සමාජයෙන් අම්මගෙයි තාත්තගෙයි දික්කසාදය ගැන එක එක කතා ඒ දරුවගේ ඔළුවට එන්න කලින් තමන් අම්මගෙන් හෝ තාත්තගෙන් දික්කසාද වෙන්න හේතුව දරුවන්ට හොඳින් පැහැදිලි කරල දෙන්න.
දරුවාට කියන්න “ අපි ආදරේ කරලා හෝ යෝජනාවකින් කසාද බැන්දා. නමුත් කාලයක් යද්දි අපිට තේරුණා අපි අතරේ ප්‍රශ්න තියෙනවා කියලා. ඒ නිසා අම්මයි තාත්තයි රණ්ඩු නොවී වෙන් වෙන්න තීරණය කළ” බව. අම්මයි තාත්තයි අතර හැමතිස්සෙම ඇතිවන ගැටුම් එක්ක මුළු ජීවිත කාලෙම ඉන්න ගියොත් ඒකෙන් තමන් දෙපලට වගේම දරුවන්ටත් ඇතිවන මානසික පීඩනය ගැන තේරුම් කරලා දෙන්න.
දැන් කාලේ ළමයි ඉස්සර වගේ කුලෑටි නෑ. හරිම ස්මාට්. ඒ වගේම දැන් දික්කසාදය කියන දේ සමාජය ඇතුළෙ මැජික් එකක් වීමේ ප්‍රවණතාවය බොහොම අඩුයි. ඒ නිසා තමන් තමන්ගේ සහකරු හෝ සහකාරියගෙන් වෙන්වුන හේතුව දරුවන්ට හොඳින් පැහැදිලි කරලා දෙන්න. එතකොට දෙමව්පියන්ගේ දික්කසාදය සම්බන්ධව දරුවන්ට බාහිරින් බලපෑමක් ආවොත් ඊට එරෙහිව දෙන්න හොඳ පිළිතුරක් දරුවා ගාව තියෙනවා.
අම්මගෙයි තාත්තගෙයි දික්කසාදය කොයි මොහොතකවත් දරුවගේ අනාගතයට හෝ පෞරුෂ වර්ධනයට බාධාවක් වෙයි කියලා හිතන්න නරකයි. හැබැයි ඔක්කොටම කලින් තමා ගත්තු තීරණය 100 % ක් නිවැරදිද, අනාගතයට මේ තත්ත්වය එක්ක තනියම දරුවන් එක්ක මුහුණ දෙන්න පුළුවන් වෙයිද කියලා අම්මා, තාත්තා හොඳින් කල්පනා කළ යුතුයි.ඒ වගේම තමයි ගොඩක් කාන්තාවන් සිය සහකරුගෙන් වෙන්වෙන්න තීරණය කළා නම් ඒ ගැන හැමෝගෙන්ම උපදෙස් පතනවා.
සමහර වෙලාවට තමන්ගේ දෙමවුපියන් කියන දේට වඩා යාළුවෝ, අසල්වැසියො කියන දේවල් තමයි හිස් මුදුනින් පිළිගන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් එහෙම වුණාම තමන්ට තනි තීරණයක් ගන්න බැරුව දෙපැත්තට වැනෙන්න සිද්ධ වෙනවා. සමහරවිට දික්කසාදයකට නොයා ලස්සනට විසඳගන්න තිබුණ ප්‍රශ්නයක් බාහිර පුද්ගලයන්ගේ මැදිහත් වීම නිසා දෙදරා යන්න තියෙන ඉඩකඩත් වැඩියි. ඒ නිසා මුලින්ම සහකරු හෝ සහකාරිය අතර ගැටලුවක් පැන නැගුනොත් කල්වේලා අරගෙන ඔවුන් දෙදෙනා පමණක් එය සාකච්ඡා කළ යුතුයි.
සාකච්ඡා කරලා හරියන්නේ නැත්නම් දික්කසාදයකට ගියාට ගැටලුවක් නෑ. හැබැයි නිතරම මතක තියාගන්න ඕනෙ මෙතනින් පස්සේ ජීවත් වෙන්න යන්නේ, දරුවෙක් හදන්න යන්නේ සහකරුගේ හෝ සහකාරියගේ සහයෝගයක් නැතිව බව.පවුලෙ ප්‍රශ්න මෙතරම් සංකීර්ණ වෙන්න කලින් අවශ්‍ය විසඳුම් හොයාගන්නවනම්, මානසික ප්‍රතිකාර අවශ්‍යනම් ඒ සඳහා උපදෙස් ලබාගන්නවනම් පවුල් දෙකඩ වෙන්නෙත් නෑ. තමන්ට, දරුවන්ට සහ නෑදෑයින්ට මානසිකව පීඩාවක් ඇතිවෙන්නෙත් නෑ.
මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි
එරංදි කෞශල්‍යා