කඨින චීවර පූජාව පිංකමක් ලෙස සැලකෙන්නේ කඨින සිවුර පූජා කිරීමට අවස්ථාව ලැබෙන්නේ සම්බුදුවරයෙකුගේ ශාසනයේදී පමණක් වන නිසායි. කඨින චීවර පූජාව ව්‍යාපාරයක්ය යන චෝදනාව බොහෝ දෙනා නැගුවත් සිත පහදවාගෙන, ආනිශංස දැනගෙන කඨින චීවරයක් පූජා කරනවා නම් ඒ පින අනුමෝදන් වෙනවා නම් ලැබෙන ආනිශංස මෙතෙකැයි කියන්න බැහැ.
කඨින චීවර පූජාවක් කළොත්, අනුමෝදන් වුණොත්, දෙව් මිනිස් සැප කෙරවල අමා මහ නිවන් සැප ලැබෙන බැව් බුදුරජාණන්වහන්සේ දේශනා කර තිබෙනවා. එක් දවසක් බුදුරජාණන්වහන්සේ භික්ෂු සංඝයා පන්සියයක් සමග අනවතප්ත විලට වැඩම කරනවා.
පින්වත් මහණෙනි, ඔබ වහන්සේලා අතරින් පෙර ජීවිතයක විශේෂ පින්කමක් කර තිබෙන අයෙක් සිටිනවා නම් ඉදිරියට ඇවිත් ඒ ගැන කියන්න.එක් රහතන්වහන්සේ නමක් කඨින පින්කමේ ආනිශංස ලෝකයට හෙළි කරන බැව් බුදුරජාණන්වහන්සේ දැන සිටියා.ඒ වෙලාවේ ඉදිරියට පැමිණි නාගිත මහරහතන් වහන්සේ තමන්ගේ පෙර ජීවිතයේදී සිදුකර ගත් ඒ මහානුභාවසම්පන්න පින ගැන මෙසේ සඳහන් කරනවා.
ස්වාමීනි, මීට අනූ එක් කල්පයටකට පෙර විපස්සි බුදුරජාණන් දවස බන්දුමතී යැයි නුවරක් තිබුණා. මා ඒ නුවර උපන්නා. ඒ ආත්ම භාවයේදී මම දන් දුන්නා. පන්සිල් ආරක්ෂා කළා. නිතර අටසිල් ගත්තා. සිල් පද ආරක්ෂා කළා. දවසක් මට විපස්සී බුදුරජාණණ්වහන්සේ දකින්න ලැබුණා. බණ අහලා සිත පැහැදුන නිසා මම උන්වහන්සේ ඇතුළු මහා සංඝයා වහන්සේලාට දන් පැන් පූජා කළා. ඒ ස්වාමීන්වහන්සේලාට වස් ආරාධනා කොට වස් පවාරණයෙන් පසු කඨින චීවර පූජා කොට මේ පිනෙන් මට උත්තම රහත්භාවය ලැබේවා යැයි ප්‍රාර්ථනා කළා.
ආරපථෙ ආරපථෙ-චක්කවත්ති සිරිංලහෙ
අයිතිංච චතුක්ඛත්තු චක්කවත්ති අහොසහං
එදා පටන් මම මේ වනතෙක් සතර අපායක උපත ලැබුවේ නැහැ. දිව්‍ය ලෝකයක හෝ මනුෂ්‍ය ලෝකයක උපත ලැබුවා. කල් දහ අටක් මුළුල්ලේ දෙව් ලොව සිත් අලවා වාසය කළා. ගැසූ ගැසූ එක් ඉඳිකටු වාරයක් පාසාම ආනිශංස ලැබුණා. 34 වාරයක් සක්දෙවිව උපන්නා. 84 වාරයක් සක්විති රාජ සම්පත් ලැබුණා.
උපනුපන් සෑම තැනම සියළු සම්පත් ලැබ උතුම් පුරුෂයෙක් බවට පත් වුණා.
රජ සහ බ්‍රාහ්මණ හැර වෙනත් එයින් පහත් කුලයක උපන්නේ නැහැ.
චතුස්සාගාර පර්යන්ත වූ චක්‍රවාටය ඇතුළත මුඵ පොළව සුදු පටපිළියෙන් වසන්නට පොහොසත් වුණා.
කඨින චීවර දානමය කුසල චේතනාව නිසා දෙව්ලොව උපන් විට දෙවියන්ටද, මිනිස් ලොව උපන් විට මිනිසුන්ටද ප්‍රිය මනාප පුද්ගලයෙක් වෙනවා.මෙසේ සඟමැද බබලන ශාන්ත ගුණ ඇති නාගිත මහරහතන් වහන්සේ අනෝතප්ත විලහිදී තමන් වහන්සේ විසින් පෙර කරන ලද කඨින චීවර දානමය ආනිශංස වදාළහ.
කඨින සිවුර සකස් කිරීම
කඨින සිවුර ලෙසින් වූ චීවරයක් මිලට අරගෙන වගේම, දායකාරකාදීන් විසින් සකස් කරගෙනත් පුජා කරන්න පුළුවන්. කඨින සිවුර විහාරස්ථානයේ සකස් කිරීම දිගු ක්‍රියාවලියක්. එය ශ්‍රද්ධාවෙන්ම කළ යුත්තක්. යම් කෙනෙකුට මේ කටයුත්තේදී කාලය විහාරස්ථානයටම වැය වෙන කටයුත්තක් ලෙසින් සිතුණොත් එතැන අකුසල මූලයක් ඇති වෙනවා. ඒ නිසා කඨින සිවුර දායකාරකාදීන්ගේ මනාපය අනුව සකස් කර ගැනීමට බාධාවක් නැහැ.
සිවුර සකස් කිරීමට සුදු (තායි කපු) වස්ත්‍රයක් තෝරා ගන්නවා. යොදා ගත් දිනක මේ සුදු වස්ත්‍රය සංඝයා වහන්සේලාගේ පිරිත් සජ්ජායනා මධ්‍යයේ සිවුරක ප්‍රමිතියට සකස් කරනවා. මසා නිම කරන ලද චීවරය සුදු පැහැති නම් එය පඬු පෙවීම සිදු කරනවා. මේ වෙනුවෙන් සිවුරු රෙද්දක් භාවිත කළේ නම් සංකේතයක් ලෙසින් සිවුරු කොනක් සෝදනවා. මේ අවස්ථාව හේවිසි, හොරණෑ ශබ්ද පූජාවන් ඔස්සේ සිදු වේ.
පඬු වර්ග
බුදුරජානණ්වහන්සේ ජීවමාන කාලයේදී භික්ෂුහු ගොම හා රතු මැටි දියකර සිවුරුවලට පෙවූහ. එයින් සිවුරු දුර්වර්ණ විය. මේ බව තථාගතයන්වහන්සේට සැළ කල කල්හි “අනුජානාමි භික්ඛවේ ඡ රජානානි මූලරජනං බන්ධරජනං තවරජනං පුප්ඵ රජනං ඊල රජනං” යැයි වදාළ සේක. මුල්, කඳ, පොතු, කොළ, ගෙඩි යන මේ සය පඬු පෙවීමට අනුදැන සේක.
ඒ සමග විනය අටුවාවෙහි දක්වා ඇති අන්දමට මුල් ආදියෙහි යෝග්‍ය වර්ණයක් නොමැති නම් ඒවා නොගත යුතු යැයිද, ටිගොල් ශාක වර්ග නුසුදුසු බවත් “ලොද්දංච කණ්ඩුලං ටපෙත්වා සබ්බ බන්ධරජනං වට්ටති” ලොත් හා කඩොල් හැර සියළු පොතු සුදුසු බවත් “අල්ලි පතඤ්ච නිල්ලිපත්තඤ්ච ඨපෙත්වා” සිහින් කසාපත් හා බෙරපත් හැර සෙසු පත්‍ර සුදුසු බවත් වණුක් මල් හා කැලෑ මල් හැර සියළු මල් සුදුසු බවත් දක්වා තිබේ. සුවඳ ද්‍රව්‍ය කැඳ සමග මිශ්‍ර කළ යුතු නැත.
කඨින පිංකම් දිනයේ අළුයම් කාලයේදී ඒ වෙනුවෙන් ප්‍රමාණවත් වස්ත්‍රයක් විහාරයට වැඩම කිරීම සම්ප්‍රදායික සිරිතයි. ඇතැම් අවස්ථාවන්හිදී මෙය අලංකාර පෙරහැරකින් සිදු වේ. මෙම පින්කම සංචාරයේ යෙදෙන්නේ භික්ෂුන් වහන්සේ වස් විසූ ආරාමයට අයත් ගොදුරු ගම් සහ සෙසු ගම් ආවරණය වන පරිද්දෙන්ය. ඇතැම් ප්‍රදේශවලදී කඨින වස්ත්‍රය මෝල් ගසක ඔතා දෙදෙනෙකුගේ කර මතින් ගමින් ගමට ගෙන යනු ලැබේ. එසේ සංචාරය කිරීමෙන් මග දෙපස රැස්වෙන සැදැහැතියන්ට කඨින වස්ත්‍රය සියතින්ම අත ගසා ගැනීමට අවසර ලැබේ.
මහරගම අපේක්ෂා රෝහලට
මෙවර අපේ සේනාසනයේ කඨින සිවුර මහරගම අපේක්ෂා රෝහලට වැඩම කොට ගිලනුන් ලවා අත ගස්වා ගැනීමක් සිදු වුණා. මෙහිදී කායික වගේම මානසික වශයෙන්ද ගිලන් බවට පත්ව සිටි රෝගීන් නව ප්‍රාණයක් ලැබුවා සේ සතුටට පත් වුණා. ගිලානෝපස්ථානය බුදුරජාණන්වහන්සේ පවා අය කළ පුණ්‍යකර්මයක්. කඨින පිංකමක් සිදු කොට ඒ පින් අනුමෝදන් වුණ කෙනෙකුට ඒ පිනේ ආනිශංසයෙන් කරන ලද පින් සිඳින්නේ නැතුව නිවන දක්වාම රැගෙන යන්න පුළුවන්.
ශාස්ත්‍රපති, මනෝ උපදේශක
ආචාර්ය පූජ්‍ය බදුල්ලේ විජයතිලක ස්වාමින්වහන්සේ
ගෞතම ආරණ්‍යසේනාසනාධිපති
ශ්‍රී පඤ්ඤානන්ද මහ පිරිවෙන
එගොඩවත්ත, බොරැස්සගමුව
පුන්‍යා චාන්දනී ද සිල්වා