මට මේ මාතෘකාව ගැන කතා කරද්දි මුලින්ම අහන්න ප්‍රශ්නයක් තියෙනවා ඒ ආදරේ කරා නම් මරාගෙන මැරෙන්න ඕනෙද? හැබැයි අපි මරාගෙන මැරුණ ආදර කතා ගැන අහල තියෙනවා. ඒත් එතන ඇත්තම ආදරයක් තිබුණ නම් ඒ කෙනාට රිද්දන්න අනිත් කෙනාට පුළුවන්ද? එහෙනම් අපි ආදරය කියන දේ තේරුම් අරන් තියෙන විදිහේ ප්‍රශ්නයක් තියෙනවා…
අර සින්දුවකුත් තියෙන්නේ ‘රුචිරාණනී අහන්න එකපාර මා මරන්න’ කියලා. ඒක වැරදි විදිහට අර්ථ නිරූපණය කරගත්තු අය ඉන්නවා. දැන් අවුරුදු කිහිපයකට කලින් පෙම්වතෙක් තමන්ගෙ හිටපු පෙම්වතියව හොයාගෙන ගිහින් වෙඩි තියල මැරුවා. පුවත්පත්වල පළවුණ විදිහට ඔහු සිය පෙම්වතියව මරන්න කලින් ඔය සින්දුව කිය කිය තමයි ඉඳල තියෙන්නෙ. ප්‍රේමය ඇතුළෙදි අපි දෙයක් දෙනවා වගේම දෙයක් ආපස්සට බලාපොරොත්තු වෙන එක සාමාන්‍යයි. මිනිස්සු කැමතියි ‘To love and to be love‘ ඒ කියන්නෙ ආදරය කරන්න, ආදරය ලබන්න. ආදරය දුන්නොත් තමයි ආදරය ලැබෙන්නෙ.
හැබැයි අපේ සමාජයේ ආදරය කරනවට වඩා පෙරළා ආදරේ ලබන එකට තමයි වැඩිම අවකාශයක් තියෙන්නෙ. තමන් හදාගන්නවා තමන්ගෙ ඔළුව ඇතුළෙ අච්චුවක්. ඊටපස්සෙ හිතනව ඒ අච්චුවේ විදිහට තමයි අනිත් පාට්නර් වැඩ කරන්න ඕනෙ කියල. ඒ සැකිල්ලට ගැළපෙන්නෙ නැතුව ඊට හාත්පසින්ම වෙනස් විදිහට තමන්ගෙ පාට්නර් හැඩගැහුණොත් තමයි රිදවීම පටන්ගන්නෙ. පිහියෙන් අයින්නෙ, බෙල්ල මිරිකන්නෙ.
මිනිස්සුන්ගෙ ගති ලක්ෂණ වෙනස්. පෞරුෂ ලක්ෂණ වෙනස්. ඒ වගේම ආදරය කරන විදිහ සහ ආදරය බලාපොරොත්තු වෙන විදිහ වෙනස්. හැබැයි මේ වෙනස්කම ගොඩක් දෙනා අඳුනගන්නෙ නෑ. එයා හිතන්න පුළුවන් සමහරවිට ප්‍රේම සම්බන්ධය පටන්ගත්ත මුල් කාලෙ මෙයත් මං වගේමයි කියල. හැබැයි තමන් සහ අනිත් කෙනා අතර තියෙන වෙනස හොඳින් අඳුරගන්න ඕනෙ.
තමන් හැදුණ වටපිටාවත් ඇය හෝ ඔහු හැදුණ වටපිටාවත් වෙනස් කියන දේ මතක තියාගන්න ඕනෙ. මේ විවිධත්වය එක්ක ජීවත් වෙන එකට තමයි ප්‍රේමය කියන්නෙ. නැතුව අනිත් කෙනාව තමන්ට ඕන විදිහට හදාගන්න එකට නෙවෙයි. එහෙම කරන්න හදන හැම වෙලාවකම එතන ගැටුමක් ඇතිවෙන එක නවත්තන්න අපිට කොයි වෙලාවකවත් බෑ.
තමන් ආදරේ කළ කෙනා තමන්ව දාලා යද්දි දුකක් ඇතිවෙන එක සාමාන්‍ය දෙයක්. හැබැයි ඒ යන කෙනාව ‘උඹට මාව එපානම් තව කෙනෙක්ටත් එපා‘ කියල අයින් කරන්න කිසිම කෙනෙකුට අයිතියක් නෑ. එහෙම සිතුවිල්ලක් එනවනම් ඔයාම කල්පනා කරල බලන්න ඕනෙ තමන් හඳුනගත්ත ප්‍රේමය ඇතුළෙ ලොකු අවුලක් තියෙනව නේද කියල.
මෙහෙම ප්‍රේම සම්බන්ධතා බිඳවැටීමත් එක්ක තමන්ගෙ පෙම්වතියවත් මරලා තමනුත් ජීවිතේ නැති කරගත්ත,නැතිකරගන්න උත්සාහ කරපු අවස්ථා පාසල්වල, විශ්වවිද්‍යාලවල ඕනතරම් අපි ඉතිහාසයේ අහල දැකල තියෙනවා.නමුත් ඒ වගේ තමන් සතුකර ගැනීමේ හැඟීමට විතරක් වහල් වෙලා හදිසි තීරණවලට එළඹෙන්න ඒ පුද්ගලයාගේ දැනුම අදාළ නෑ. දැනුමක් තියෙන මනුස්සයෙක්ට වුණත් ඉගෙනගෙන නැති මනුස්සයෙක්ට වුණත් ඔය සිතුවිල්ල ඒ විදිහටම දැනෙන්න පුළුවන්.
දීපිකා ප්‍රියදර්ශනීගේ ලස්සන සින්දුවක් තියෙන්නේ
‘මල කොතන පිපුණම මොකද
පිපුණ වග මල දන්නවා
ගඟ කොතැන ගැලුවම මොකද ගලන වග ගඟ දන්නවා
සඳ කොතැන දිලුණම මොකද දිලෙන වග සඳ දන්නවා
නුඹ කොතැන හිටියම මොකද
නුඹ ඉන්න බව මම දන්නවා’
මෙන්න මෙතන ප්‍රේමයක් තියෙනවා. තමන් දෙන්නට එකට ඉන්න බැරිවෙන්න පුළුවන් පතොක් ගහ දැනගෙන ඉන්න ඕනෙ එයාගෙ කටුවලින් රෝස මලේ පෙතිවලට හානිවෙන්න පුළුවන් කියලා. ඒ බව රෝස මලත් දැනගෙන ඉන්න ඕනෙ. ඒ දේ දෙන්නට දෙන්නා පිළිගන්න පුළුවන් නම් දෙන්නගෙ විෂමතා ගැන අවබෝධයක් තියෙනව නම් වෛර කිරීමකින් තොරව ජීවත්වන්න පුළුවන් නමුත් විවිධත්වයට ගරු නොකරන තාක් එතන ප්‍රේමයක් පවතින්නෙ නෑ.
ලෝකෙ ඒකපාර්ශ්වීය ප්‍රේම කොච්චර තියෙනවද? මං හිතන්නෙ වේදනාත්මකම ප්‍රේමය තමයි ඒකපාර්ශ්වීය ප්‍රේමය. මොකද එය අප්රකාශිතයි. ප්‍රේමය එක්කම එන කෑල්ලක් තමයි ලිංගිකත්වය, රාගය කියන්නෙ. මිනිස්සුන්ට ලිංගික ඊර්ෂ්‍යාවක් එන එක සාමාන්‍ය දෙයක්. තව කෙනෙක් තමන්ගෙ පෙම්වතිය දිහා බැලුවම කේන්ති එන්නෙත් ඒකයි. හැබැයි ගැටලුව තමයි ඒ ඊර්ෂ්‍යාව තව දුරදිග ගිහින් ඝාතනයන් දක්වා දුරදිග යන්න පුළුවන් වෙන එක.
පිහි ඇනුමක් සිද්ධ වෙච්ච හැමතැනම ප්‍රේමයක් තිබ්බෙ නැද්ද කියල කෙනෙක්ට ප්‍රශ්න කරන්න පුළුවන්. ඒ ප්‍රශ්නෙම මම පාඨකයට යොමු කරනවා ඒ වගේ තැනක ප්‍රේමයක් තියෙන්න පුළුවන්ද කියල. එතන තිබිල තියෙන්නේ අයිතිකරගැනීමක් මිස ප්‍රේමයක් නෙවේ. අපිට මරාගෙන මැරෙන ප්‍රේමයට පිහි ඇණුම්, බෙලි මිරිකිලි විතරක්ම ගන්න බෑ. මේ දේවල්වලට වඩා වෙන්නෙ තමන්ගෙ පෙම්වතියගෙ ඡායාරූප, වීඩියෝපට අන්තර්ජාලයට නිකුත් කරන එක. මුලින්ම තමන් ආදරයක් ලැබීමට තරම් සුදුසු පුද්ගලයෙක් වෙන්න. එතනින් පස්සේ ආපස්සට ඔබට ඔබගේ ආකෘතියට ගැළපෙන ආදරයක් ලැබේවි.
මනෝ විද්‍යාඥ,
ආචාර්ය අශෝක් ප්‍රියදර්ශන
එරංදි කෞශල්‍යා