කායික රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය – මහාචාර්ය චාමර දළුගම
මානව සම්පත රටක ඇති වටිනාම සම්පත බව සියලු දෙනා අවබෝධ කරගතයුතු සත්‍යයක්. මේ මහපොළොවේ බිහිව හැදී වැඩුණු අපේ කතා නායකයත් ඒරොප්පෙ සැප ජීවිතේට ආයුබෝවන් කියල ලංකාවට එන්නෙ එවන් මානව සම්පතකට අපේ රටෙන් අවම වටිනාකමක් ලැබෙන කාල වකවානුවක. ඔහු ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ කායික රෝග පිළිබඳ ලාබාලතම මහාචාර්යවරයා වන විශේෂඥ වෛද්‍ය චාමර ලක්මාල් දළුගම.
මේ සුන්දර මිනිසා ගැන ඔහුගෙන් ප්‍රතිකාර ලැබූ රෝගියෙකු පළකර තිබූ ෆේස්බුක් සටහනක් මා මෙසේ දක්වමි….
“මගේ ජීවිතේ මම දැකපු හොඳම වෛද්‍යවරයා චාමර දළුගම. රෝගියා ළඟ වාඩිවෙලා රෝගියාගේ හිස අත ගාමින් වැළඳගෙන ප්‍රතිකාර කරනවා දැකපු එකම වෛද්‍යවරයා ඔහුයි.වෙව්ලන දෑතීන් අත අල්ලා ‘පුතේ’ කියද්දි ඇස්වල කඳුළු පුරවන් අසරණ රෝගීන් දිහා බලා සිටින නිහතමානී වෛද්‍යවරයා ඔහුයි.මාසයකට වෛද්‍යවරුන් දහස් ගණනක් පිටරටකට යන්න පොර කද්දි තමන්ගෙ රටට සේවය කරන්න තිබුණ දැඩි වුවමනාව හින්දම එංගලන්තයේ අධ්‍යාපනය හමාර කර ආයෙත් ඔහු ලංකාවට එනවා’ මේ ඔහුගේ ඒ වටිනා කතාවයි…
අපි මේ කතාව ඔබේ ළමා අවධියෙන්ම පටන්ගමු…
මම ඉපදුණේ අනුරාධපුර පොරමඩුල්ල කියන ලස්සන ගමේ. ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරුවේ පොරමඩුල්ල කනිෂ්ඨ විද්‍යාලයෙන්. ශිෂ්‍යත්ව විභාගය සමත්වෙලා මම ආවේ රණබිම රාජකීය විද්‍යාලයට.2003 වසරේ පාසලෙන් සාමාන්‍ය පෙළ ඉහළම ප්‍රතිඵල ලබාගෙන උසස් පෙළ සඳහා මහනුවර ධර්මරාජ විද්‍යාලයට ඇතුළත් වුණා. පවුලේ ඉන්නෙ අම්මයි තාත්තයි නංගියි මමයි. අම්මා විශ්‍රාමික ගුරුවරියක්. තාත්තා විශ්‍රාමික බැංකු කළමනාකාරවරයෙක්. නංගි මේ වෙද්දි ගුරු වෘත්තියේ නියැළෙනවා.
වෛද්‍යවරයෙක් වෙන එක පුංචි කාලෙ ඉඳල තිබුණ හීනයක්ද?
ඔව්. වෛද්‍යවරයෙක් වෙන හීනෙ තිබුණේ මම පුංචි කාලේ ඉඳලමයි. වෙන කිසිම කෙනෙක් වෙන්න මම හිතල තිබුණෙ නෑ.
ළමා කාලෙ මොන වගේ දරුවෙක්ද?
මම ශිෂ්‍යත්වය සමත් වුණාට 6 ශේණියට යනකල්ම ඉගෙනීමට වැඩි උනන්දුවක් දක්වපු ළමයෙක් නෙවෙයි. චුට්ටක් දඟයි. හැබැයි එහෙමයි කියලා පාඩම් වැඩ අතපසු කර ගත්තෙත් නෑ. මම අදහස් කළේ මම පොතේම ඇලිලා හිටපු ළමයෙක් නෙමෙයි කියලා. 6 වසරට අලුත් ඉස්කෝලෙකට ගියාට පස්සෙ මම උනන්දුවෙන් වැඩ කළා.
විශ්වවිද්‍යාල ජීවිතේ ගැන මතකය අවදි කළොත්…
විශ්වවිද්‍යාල ජීවිතය ගැන මට තියෙන්නෙ ගොඩක් සුන්දර අත්දැකීම්. මම උසස් පෙළින් පස්සේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට රික්වෙස්ට් කරලමයි ගියේ. මොකද මගේ අම්මත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක්. මම පුංචි කාලේ අම්මා මාව කැම්පස් එක පෙන්නන්න එක්කගෙන යනවා.
එතනින් පස්සේ මගේ හීනය වුණේ කවදහරි දවසක වෛද්‍ය ශිෂ්‍යයෙක් විදිහට ඉගෙනගන්න පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යන එක විතරයි. මම උසස්පෙළින් දිස්ත්රික්කයෙන්ම තුන්වෙනියා වුණා. ලංකාවෙන්ම තිස් වැනියා. ඒ රෑන්ක් එකත් එක්ක මට ලැබුණේ කොළඹ විශ්වවිද්‍යාලය. ඒත් මම ඉල්ලලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ආවා.
කැම්පස් කාලෙදි තිබුණ අසීමිත දක්ෂතාව නිසා කැපිටි කෙටිලි එහෙම ඇවිත් නැද්ද?
එහෙම දෙයක් නම් ඇත්තටම තිබුණෙ නෑ. මාත් එක්ක හිටපු ගොඩක් ළමයි වෛද්‍යවරුන්ගේම දරුවො. ඒත් මට කිසිම වෛද්‍ය පසුබිමක් තිබුණෙ නෑ. මම ගුරුවරියකගේ දරුවෙක් විතරයි. කැම්පස් එකේ පළමු අවුරුද්දෙදිම මම බැච් ටොප් වුණා. නමුත් එහෙම කැපිලි කෙටිලිවලට නම් ලොකුවට මූණ දීල නෑ. මම කොහොමත් මගේ පාඩුවේ වැඩ කරගෙන හිටපු කෙනෙක්.
ඔබේ බිරිඳත් වෛද්‍යවරියක්.ඇයව මුණගැහෙන්නෙත් පේරාදෙණිය විශ්වවිද්යාලයේදිද?
බිරිඳ භාග්‍යා මට මුණගැහුනෙ විශ්වවිද්‍යාලයෙදි කියන්න බෑ. අපි එකම ෆැකල්ටියේ තමයි. ඇය මට වඩා අවුරුදු තුනක් ජූනියර්. නමින් මම ඒ කාලේ ඇයව දැනං හිටියා. ඒත් මම මගේ සීමාවාසික පුහුණුව කොළඹ ජාතික රෝහලේ ඉවරකරලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට කථිකාචාර්යවරයෙක් විදිහට ආපහු ආවා. ඒ 2016 අවුරුද්දෙ. ඊටපස්සෙ මම පේරාදෙණිය රෝහලේ වැඩකටයුතු ආරම්භ කරනකොට ඇය එහි සීමාවාසිකව කටයුතු කළා. එතනින් පස්සේ තමයි අපි දෙන්නා දැන හඳුනගත්තේ.
කායික රෝගම තෝරගන්න විශේෂ හේතුවක් තිබුණද?
වෛද්‍ය විද්‍යාවේ ප්‍රධාන කොටස් හතරක් තියෙනවනෙ. ශල්‍ය වෛද්‍ය විද්‍යාව, කාන්තා රෝග, ළමා රෝග සහ කායික රෝග. මගේ ආසාව තිබුණේ කායික රෝගවලට. මොකද කායික රෝග ගත්තම ප්‍රහේලිකාවක් වගේ. රෝග ලක්ෂණ ගොඩක් එක්ක රෝගියෙක් ආවම මොකක්ද රෝගය කියලා අඳුරගන්න එකත් හරියට ප්‍රහේලිකාවක් විසඳනවා වගේ වැඩක්. මම හරි කැමතියි ඔපරේෂන් කරනවට වඩා ගැටලු විසඳන්න.
බිරිඳ මොන අංශයේ වෛද්‍යවරියක්ද?
ඇය නිර්වින්දන වෛද්‍යවරියක්. ඒ නිසා විවිධ රෝහල්වල වැඩකරනවා. මේ වෙද්දි ඇය ඉන්නේ මහනුවර මහ රෝහලේ.
අපි ඔබේ චූටි දුව ගැන පොඩ්ඩක් කතා කරමු.
දුව සෙනුදි අනන්‍යා. ඇයට වයස අවුරුද්දයි මාස නවයයි.
අතිශය කාර්යබහුල ජීවිතයක් ගතකරද්දි දුව වෙනුවෙන් වෙලාව වෙන්කරගන්නෙ කොහොමද?
මගේ අධ්‍යාපන කටයුතු සියල්ලම ඉවරනෙ. බිරිඳ තමයි තවමත් පශ්චාත් උපාධිය හදාරන නිසා කාර්යබහුල වෙලා ඉන්නෙ. ඒ නිසා මම පුළුවන් තරම් වෙලාවක් බබා වෙනුවෙන් ගත කරන්න බලනවා. අපි දෙන්නගෙ ඩියුටීස්වල හැටියට කොහොම හරි දෙන්නගෙන් එක්කෙනෙක් බබා ගාව රැඳෙන්න තමයි බලන්නෙ.
මේ තැනට එන්න දෙමාපියන් ඔබ වෙනුවෙන් සහ ඔබ ඔබ වෙනුවෙන් කළ කැපවීම මොන වගේද?
මම පුංචි කාලේ ඉඳන්ම අම්මගේ තාත්තගේ ලොකු කැපවීමක් තිබුණා මාව මේ තැනට ගේන්න. අම්මා ගුරුවරියක් නිසා ඇය විධිමත්ව මාව අධ්‍යාපන කටයුතුවලට යොමුකෙරුවා. ඒ මගපෙන්වීම කැම්පස් කාළෙදි වුණත් නැති වුණේ නෑ. තාත්තත් ඒ වගේ. මගේ කැපවීම ගැන කතා කළොත් පුංචි කාලේ ඉඳන් අනාගතය කොහොමද වෙන්නේ කියලා මගේ හිතේ ප්ලෑන් එකක් තිබුණා. කැම්පස් එකට ආවට පස්සෙත් මම හිතේ හදාගෙන හිටපු ප්ලෑන් එකකටම තමයි වැඩ කළේ.
ඔබ තමයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් ලබාගත්ත වැඩිම සම්මාන, පදක්කම් ලබාගන්නෙත්…
ඔව්. වෛද්‍ය ශිෂ්‍යයෙක් එක් වසරකදී රන් පදක්කම් නවයක් ශිෂ්‍යත්ව සහ සම්මාන පහළවක් ලබාගත් ප්‍රථම අවස්ථාව වුණේ ඒක. ඒ 2013 වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාල උපාධි ප්‍රදානෝත්සවයේදි. ඒ වගේම ඒ වසරේදිම ලංකාවේ සියලුම වෛද්‍ය විද්‍යාලවල උපාධිධාරීන් අතුරින් හොඳම ශිෂ්‍යයා ලෙස පළමු ස්ථානය ලබාගන්නත් පුළුවන් වුණා.
ඔබේ වැඩකටයුතුවලට බිරිඳගෙන් ලැබන සහයෝගය…
පෙම්වතිය කාලේ ඉඳන්ම මගේ වැඩකටයුතුවලට ඇගෙන් විශාල සහයෝගයක් ලැබුණා. මගේ පශ්චාත් උපාධිය කරන්න අපි දෙන්නම විදේශගත වුණ කාලෙත් මගේ වැඩ ටික කරගන්න ඇය මට ලොකු සහායක් දුන්නා. ඒ වෙද්දි ඇයත් පශ්චාත් උපාධිය ආරම්භ කරලා තිබුණෙ. ඒත් මගේ වැඩවලට උදව් කරන්න ඕන නිසාම ඇය උපාධි අධ්‍යාපනය ටික කාලෙකට නතර කළා. එංගලන්තයේ ඉද්දි තමයි අපේ බබා ලැබෙන්න හිටියේ. ඊටපස්සෙ ලංකාවට ඇවිත් දුවත් ලැබුණට පස්සේ තමයි ඇය යළිත් අධ්‍යාපන කටයුතු පටන් ගත්තෙ.
ඔබ එංගලන්තයේදි ලබාගත් ජයග්‍රහණ ගැන සඳහනක් කළොත්…
මම පශ්චාත් උපාධිය හැදෑරුවේ එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ. අවුරුදු දෙකකට ආසන්න කාලයක් එහේ කායික රෝග හා බෝ වන රෝග පිළිබඳව අධ්‍යාපනය හැදෑරුවා. ඊටපස්සේ බ්‍රිතාන්‍ය රාජකීය කායික රෝග විශේෂඥයන්ගේ සංගමයෙ සාමාජිකත්වයත් ලැබුණා.
ඒ වගේම අන්තරාසර්ග ග්‍රන්ථි, කායික රෝග හා වැඩිහිටි රෝග පිළිබඳ ප්‍රතිකාර ක්‍රමවේදයන්ට අදාළව එහිදී විශේෂ උපාධි තුනක් හදාරන්නත් අවස්ථාව හිමිවුණා. එඩින්බර්ග් කායික රෝග වෛද්‍යවරුන්ගේ සංගමය විසින් ලබාදෙන ඉහළම පශ්චාත් උපාධි සුදුසුකමක් වන ගෞරව නාමයත් ඇමරිකාවේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජිකත්වයත් 2022 දි මට ලැබුණා.
එංගලන්තයේ සුවපහසු ජීවිතයක් ගත කරන්න අවස්ථාව තිබුණ ඔබ ඇයි ලංකාවට ආවෙ?
ඒක නම් ඇත්ත තමා. ලංකාවට එන්න එක හේතුවක් වුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය. මගේ ආසාව තිබුණෙ ලංකාවේ විශ්වවිද්‍යාල ළමයින්ට උගන්නන්න. ලංකාවෙ වෛද්‍ය ශිෂ්‍යයන්ට උගන්වන එකෙනුයි වෛද්‍යවරයෙක් විදිහට වැඩ කරන එකෙනුයි මට ලොකු සැනසීමක් ලැබෙනවා.
ඇත්තටම මටයි බිරිඳටයි ලොකු පඩියකට එංගලන්තයේ රස්සාවක් කරන්න පුළුවන්කම තියෙද්දිත් අපි දෙන්න කතාවුණේ ලංකාවට ඇවිත් සේවය කරන්න. එතකොට බිරිඳට බබා ලැබෙන්න හිටියේ. බබාට වුණත් එංගලන්තයේ උපත නොදී ලංකාවෙදි උපත දෙන්න ඕන කියලත් බිරිඳයි මායි තීරණය කළා.
ලංකාවට ඇවිත් සති තුනෙන් වගේ බබා ලැබුණා. ඇත්තම කතාව එංගලන්තයේ රස්සාවක් කරන එක හරි නිදහස්. ලංකාවේ වගේ කාර්යබහුල ජීවිතයක් නෑ. හතර වෙද්දි වැඩ ඉවරවෙලා ගෙදරත් ඇවිල්ලා. ඒ හිටපු අවුරුදු දෙකේ අපි මුළු එංගලන්තෙම ඇවිද්දා. නමුත් මොන දේ තිබුණත් ලංකාවේ රෝහලක අසරණ රෝගීන්ට ප්‍රතිකාර කරනවා තරම් තෘප්තියක් කොහේ හිටියත් ලැබෙන්නෙ නෑ. ඒ නිසයි අපි තීරණය කළේ ලංකාවට එන්න.
ඇයව බිරිඳ කරගන්න ඔබ ඇය තුළින් විශේෂ දෙයක් දකින්න ඇති…
ඇය බොහොම ධෛර්යවන්තයි. අපි මුලින් හම්බෙනකොටත් ඉමෝෂනලි අපි දෙන්නා ගොඩක් සමීප වුණා. පෙම්වතුන් වෙන්න කලින් ඉඳන් ඇය මගේ වැඩවලට සහය දුන්නා. ඇගේ ඒ ධෛර්යවන්තකමට තමයි මම කැමති වුණේ.
මේ වෙද්දි ඔබ ලංකාවේ මොන වගේ කාර්යබාර්යයක්ද ඉටු කරන්නෙ?
පේරාදෙණිය රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් විදිහට කටයුතු කරන ගමන් මෙරට ලාබාලතම මහාචාර්යවරයා ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දරුවන්ට උගන්වනවා. පේරාදෙණිය පශ්චාත් උපාධි ආයතනයේ සභාපති විදිහට සහ ලංකාවේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් විදිහටත් වැඩ කරනවා.
ලංකාවේ ගෙවන කාර්යබහුල ජීවිතේ ගැන කිසිම දුකක් නැද්ද?
කවදාවත් එහෙම දුකක් කලකිරීමක් ඇති වෙලා නැහැ. මොකද මේ සියලුම වැඩ කරන්නෙ මම ඉතාම සතුටින්.
එරංදි කෞශල්‍යා