නමට අනුව නියැළෙන ක්ෂේත්රයේ නිපුණයෙකු වූ ඔහු අපේ රටේ ඉවුම් පිහුම් කලාව නව මානයකට ගෙනයන්න සමත් වෙනවා. තමන්ටම ආවේණික වූ ආකර්ෂණීය හැසිරීම් රටා නිසාම ජනප්‍රියත්වය ඔහු පසුපස ලුහුබැඳ එන අතරතුර ඒ සඳහාම සම්මානයකින් පිදුම් ලබන්නට තරම් වාසනාවන්ත වූ චරිත් නිපුන් සිල්වා නොහොත් උඩ දදා උයන කොල්ලා එලෙස පැමිණි ගමන් මගේ රසබර තොරතුරු මේ විදිහට කිව්වා…
උපන් ගම ඉගෙන ගත් පාසල වගේම පවුලේ විස්තරත් එක්ක මේ කතාවට ආරම්භයක් ගනිමු….
මගේ උපන් ගම බලපිටිය ගල්මන්දූව කියන එකත් ඉගෙන ගත්තෙ රේවත ජාතික පාසලේ කියලත් මම කියන්නෙ හරිම ආඩම්බරෙන්. අපේ පවුලෙ සාමාජිකයො වෙන්නෙ අම්මයි තාත්තයි අයියයි අක්කයි මමයි නංගියි.
පාසල් ශිෂ්‍යයෙකු ලෙස ගත කරපු කාලය ගැන මතක් කළොත්…
ඒ කාලෙ මම සෙල්ලමට බර දඟකාර චරිතයක් විදිහට ප්‍රසිද්ධ වෙලා හිටියත් පොතපතේ වැඩ අතපසු නොකර කරගත්තා. ඒ අතරෙ වැඩි තැනක් දුන්නෙ ක්‍රිකට් ක්‍රීඩාවට.
ඔබ ක්‍රිකට් තරුවක් වෙන්න සිහින මැව්වා…
අනිවාර්යයෙන්ම. එහෙම වෙනවා කියන සිහිනය තුළ ජීවත් වෙමින් පාසලේ 17 න් පහළ කණ්ඩායම දක්වා මම ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වුණා.
එහෙත් ජීවිතය ජයගත්තෙ වෙනත් රැකියාවකින්…
අපි හතර දෙනෙකුට උගන්වමින් පවුලේ සියලු වියදම් දරමින් හිටපු තාත්තට මගේ ක්‍රීඩා කටයුතු සඳහා යොදවන්න වත්කමක් නෑ කියන එක තේරුම් අරගෙන තමයි ක්‍රිකට් අතඇරලා වෙනත් රැකියාවකට යොමුවෙන්න හිතුවෙ.
ඒ සඳහා සූපවේදයම තෝරගන්න විශේෂ හේතුවක් තිබුණද…
එදා මට ඕන වුණේ පවුලේ ආර්ථිකයට සවියක් වෙන්න ඉක්මනින් මුදල් හොයන මාර්ගයක්. විදේශගත වීම ඒ සඳහා හොඳම මාර්ගය ලෙසයි මම එදා දැක්කෙ.
ඒ සඳහා ඔබට තිබුණ සුදුසුකම් මොනවද?
මගේ මස්සිනා ( අක්කගෙ මහත්තයා) ප්‍රවීණ සූපවේදියෙක්. ඔහු මට කිව්වා විදේශගත වීමට නම් පිළිගත් සුදුසුකම් සපුරා තිබිය යුතු බව. ලොකු කැමැත්තක් හිතේ ඇති නොවුණත් මම එදා හික්කඩුව සුපර් කොරල් හෝටලයේ නයිටා ආයතනය මඟින් පැවැත්වූ කුකරි පාඨමාලාව හදාරන්න තීරණය කළා.
එතනින් පස්සෙ…
මගේ මාමා ඔහුගේ මිතුරකුගේ මාර්ගයෙන් වස්කඩුව සිට්රස් හෝටලයේ රැකියාවකට මාව යොමු කළා. ඒක තමයි මගේ පළමු රැකියාව.
විදේශගත වීමේ සිහිනය අත හැරියද?
සිට්රස් හෝටලයේ අවුරුදු එකහමාරක් සේවය කරල එකතු කරගත්ත දැනුමත් එක්ක මම ඩුබායි රාජ්‍යයේ හොටෙල් එකක රැකියාවට පිටත් වුණා.
ඔබේ සිහිනය සැබෑ වුණා…
ඔව්. ලොකු ආසාවකින් බලාපොරොත්තු ගොන්නක් පොදි බැඳගෙන තමයි මම පිටරට ගියේ. ඒ වෙද්දි මස්සිනා හිටියෙත් ඩුබායිවල. ආසාවෙන් ගියාට මට ඒ ජීවිතේට හුරු වෙන්න අපහසු වුණා. හෝම්සික් කියන තත්ත්වය තදින්ම බලපෑවා ගෙදරට කෝල් කළාම අම්ම අඬනවා බැරිම තැන මාස හතරකින් මම නැවත ලංකාවට ආවා.
එදා ගෙදරින් ලැබුණු ප්‍රතිචාර…
බොහොම උණුසුම්. හිනා වෙලා ආදරෙන් පිළිගත්තෙ අම්ම විතරයි. අනිත් හැමෝම මෝඩ වැඩක් කළා කියල දොස් කිව්වා. ඒවායින් බේරෙන්න ටික දවසක් මම කාමරයටම වෙලා හිටියා.
නැවත හෝටල් ක්ෂේත්රයේ රැකියාවකට…
ඔව්. ලංකාවට ඇවිත් මාස දෙකකට විතර පස්සේ නුවරඑළියේ අරලිය ග්‍රීන්සිටි හොටෙල් එකට ගියා ෆ්‍රී ඕපනින්. අවුරුදු තුනකට පස්සෙ නැවත මම අරලිය උණවටුනට එනවා.
එතන ඉඳල සූපවේදී චරිත් නිපුන් සිල්වා උඩ දදා උයන කොල්ලා බවටපත්වෙනවා…
ඒක වෙන්නේ මෙහෙමයි. කොවිඩ් සීසන් එකත් එක්ක මම සෝෂල් මීඩියා පැත්තට යොමු වෙනවා. මුලින්ම යූ ටියුබ් චැනල් එකක් කරගෙන ගියත් ඒක සක්සස් වුණේ නැහැ. ඒ නිසා තමයි ටික් ටොක් ප්ලැට්ෆෝම් එක තෝරගත්තෙ. ඒ හරහා කුකින් කන්ටෙන්ට් විදියට ශෝර්ට් වීඩියෝ දාන්න පටන් ගත්තා. ඔය අතරෙ නොහිතපු විදියට මම දාපු බර්ගර් වීඩියෝ එකක් වයිරල් වෙනවා. එතනින් පස්සෙ දාපු හැම වීඩියෝ එකක්ම ට්රනේඩින් තිබුණා.
අද දවස වන විට වැඩිම සබ්ස්ක්‍රයිබස්ලා පිරිසක් සිටින සූපවේදියා ඔබ…..
මම අර කලින් කිව්ව වගේ ලොකු කැමැත්තකින් මෙතනට ආවෙ නැතත් අද වෙනකොට මගේ ඉදිරිපත් කිරීම් හරහා බොහෝ පිරිසක් මා වටා රොක් වෙලා සිටිනවා. ඒක මම කවදාවත් හීනෙකින්වත් නොහිතපු ජනප්‍රියත්වයක්. මේ වෙද්දි යු ටියුබ් සබ්ස්ක්‍රයිබස්ලා මිලියන 5.9 ක් ටික්ටොක් මිලියන 4.3 ක් ෆේස්බුක් මිලියන 1.8 සහ ඉන්ස්ටග්‍රෑම් මිලියන 1.6 ලෙස තමයි ඒ ආදරණීයයන් මා වටා රොක් වෙලා ඉන්නෙ. ඇත්තටම ඒ ආදරේට මමත් හදවතින්ම ආදරෙයි.
ඔබ වඩාත් ගැළපෙන්නෙ රංගනයට කිව්වොත්
එවැනි ආරධනා බොහොමයක් ලැබුණා.ඒත් ඒකට මගෙ වැඩි කැමැත්තක් නෑ.
උයන්න දන්න මේ වගේ ලස්සන කොල්ලෙක් බඳින්න ඇත්නම් කියල හිතපු තරුණියන්ගෙන් විවාහ යෝජනා ගලාගෙන එනව ඇති නේද?
එහෙම අවස්ථා තියෙනව. ඒත් ලැබෙන පලියට බාරගන්න ගියොත් උයන්න පිහන්න වේලාවක් නැතිවෙනවනෙ.
වයිල්ඩ් cookbook ලෙස නම පටබැඳුණේ..
පුංචි කාලෙ ඉඳලම මම පරිසරයට බොහොම ආදරේ කරන කෙනෙක්. ඒ නිසා මුල් කාලෙ වීඩියෝ කළේම බීච් එකේ එහෙමත් නැත්නම් දියඇලි ළඟ. නේචර් එකත් එක්ක වැඩ කරන නිසාම තමයි වයිල්ඩ් කුක් බුක් කියන නම දාගත්තෙ.
ඒ හරහා ඉදිරිපත් කෙරෙන්නේ ඉවුම් පිහුම් ක්‍රම වලට එහා ගිය විනෝදාස්වාදය සැපයීම නේද?
සාම්ප්‍රදායික ක්‍රමයෙන් ඈත් වෙලා වෙනස්ම දෙයක් කරන්න මට ලොකු වුවමනාවක් තිබුණා. අන්න ඒ නිසා තමයි අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ස් කමෙන්ට්ස්වල දාලා උපරිම විනාඩි දෙකක් ඇතුළත අලුත්ම විදිහට රෙසිපි ඉදිරිපත් කරන්නෙ. ඒ විනෝදජනක බව ප්‍රියකරන බාල මහළු හැමදෙනාම මම හඳුන්වාදෙන රෙසිපි කම්මැලිකමකින් තොරව අනුගමනය කරන බව නිතරම කියනවා.
චරිත් හදන කෑම රහයි කියල අම්ම තාත්ත කියනවද?
කියන වෙලාවල් තියෙනවා. ඒත් අපි හදන අලුත් කෑම වර්ගවලට එයාලා ලොකු කැමැත්තකුත් නෑ. අම්මටත් රසට උයන්න පුළුවන් ඒ ගමේ කෑම.කවදාවත් අම්මත් එක්ක මට තරගයක් නෑ. හැබැයි මගේ අලුත් කෑම එක්ක අපෙ අම්මට හැරෙන්නවත් බෑ.
විඩියෝ හරහා ෆ්ලයින් කිස් දෙන්නෙ වැඩි ජනප්‍රියත්වයක් බලාපොරොත්තුවෙන් නේද?
අනේ නෑ. ඒක සාමාන්‍යයෙන් චෙෆ් කෙනෙක් ගෙස්ට්ලට හදන කෑමත් එක්ක හිතේ තියෙන ආදරේ පෙන්නන්න ලබාදෙන චෙෆ් කිස් එක මමත් ඉතින් හැමෝටම ආදරෙයිනෙ ඒකයි එහෙම කරන්නෙ.
මෑතකදී සම්මානයටත් පාත්‍ර වුණා…
ඒ ගැන නම් තාමත් පුදුමයි. මගේ නම නිර්දේශ වෙලා තියෙනවා දැක්කා. ඔය අතරෙ කෝල් එකක් ආවා අවෝඩ් සෙරමනි එකට එන්න කියලා. ඒක පාටිසිපේට් කරන්න තමයි මම ගියේ. ඒ වෙනකොටත් නිර්දේශ නාම අතරෙ තිබුණේ වෙන චැනල් එකක නමක්. අන්තිමට ප්රසන්ටස්ලා කවුද කියල අහද්දි ඕඩියන්ස් එකේ වැඩිදෙනෙක් වයිල්ඩ් කුක් බුක් කියල කෑ ගැහුවා. ඒ අතරින් මගේ නම කියවෙද්දී මට අදහගන්න බැරි වුණා. ඇත්තටම ගොඩක් ආදරෙයි ඒ දුන්න ඇගයීමට.
දහසක් අගය කිරීම් මැද කැපිලි කෙටිලිත් නැත්තෙම නෑ නේද?
ඇත්තම කිව්වොත් මට එහෙම දේවල් දැනිල නෑ. මොකද මම එදා ඉඳලම පුරුදු වෙලා ඉන්නෙ මගේ වැඩ ටික කරගෙන පාඩුවේ ඉන්න. ඒ තුළ කවුරුහරි මගේ මූණට මොනව හරි කිව්වත් මම ගනන් ගන්නෙ නෑ. ඒවගෙන් මාව වට්ටන්නත් බෑ. මොකද ඒවා එක එක්කෙනාගේ මානසික මට්ටම්නෙ. ඒ නිසා මම අනවශ්‍ය දේවල් අදාල කරගෙන පසුතැවෙන චරිතයක් නෙමෙයි.
මේ සම්මානය ඔබට හිමි නොවිය යුත්තක් බවටත් මත පල වෙනවා…
වෙන්න පුළුවන්. ඕනම දේක දෙපැත්තක් තියෙනවනෙ. ආකර්ෂණය දිනා ගැනීම තුළ ආදරණීය බොහෝ දෙනාගේ ආදරයට පාත්‍ර වීමේ ප්‍රතිඵලයක් විදිහට මේ සම්මානය හිමි වුණා කියන එකයි මට වැදගත්. ඒක තමයි මගේ සක්සස් එක. එහෙම නැතුව මම මේක ඉල්ලල බලෙන් ගත්තු එකක් නෙමෙයි. ඔය හැමදේම ලියැවෙන සෝෂල් මීඩියා කියන්නෙ දෙපැත්තක් තියෙන දෙයක්. ඒකෙ හොඳ පැත්ත තෝරගෙන ගියොත් ඉහළට යනවා වගේම වැරදි පැත්ත තෝරගෙන ගියොත් කවදාවත්ම ගොඩ එන්න ලැබෙන්නේ නෑ.
මම කිසිම කෙනෙකුට වැරැද්දක් නොකරන බව මට විශ්වාස නිසා කවුරු මොනවා කිව්වත් මට රිදෙන්නෙ නෑ. කතාවක් තියෙනවනෙ ඒ කනින් අහල මේ කනින් පිට කරන්න කියල. කොටින්ම අනවශ්‍ය දේවල් මම මගේ එක කනකටවත් ඇතුල් වෙන්න දෙන්නෙ නෑ. ප්‍රශ්න හදන මිනිස්සුන්ටම ඒවා විසඳන්න දීල මගේ හොඳ ඉදිරියටත් පවත්වාගෙන යන ඒක තමයි මගේ එකම සහ ලොකුම බලාපොරොත්තුව.
රටක් වටින චෙෆ් පුතා ගැන ඔහුගේ ආදරණීය අම්ම නාලනී පෙරේරා කිව්වෙ මේ වගේ කතාවක්…
මට දරුවො හතර දෙනෙක් ඉන්නව. පුතාල දෙන්නයි දුවල දෙන්නයි. ඒ අතරින් මේ පුතා ඕනම දේකට හරිම දක්ෂයි කඩිසරයි. මම දැනගෙන හිටියා කවදාහරි දවසක පුතා අපිට ආඩම්බරයක් වෙන විදිහට රටේ හොඳ තැනකට එයි කියල. අපිව සතුටට පත්කරමින් ගෞරවයක් හිමිකරදෙමින් පුතා ඒ තැන හිමිකරගත්තා. ක්‍රිකට් ක්‍රීඩාව තමයි එයාගෙ ජීවිතේ වෙල තිබුණෙ. ඒත් නොහිතපු විදිහට පුතා විසින්ම එයාගෙ උරුමය මතු කරගත්ත. මට මගෙ පුතා ගැන තියෙන ආදරණීය හැඟීම් වචනෙන් විස්තර කරන්න බෑ. එයාට තව තවත් හරියන්න ඕන.
ධම්මික හේවාවසම්