අසික පින්සර සමරසේකර
දෛවය අපිට වෙනස් කරන්න පුළුවන්ද? කියන ප්‍රශ්නෙට 50% කගේ උත්තරේ ඔව් පුළුවන්. ඒත් ඉතිරි 50% දෙනාගෙ පිළිතුර බැහැ ඒක කොහොමටවත් කරන්න බෑ කියන එක. ඒ වගේ පසුබිමක ඉඳගෙන අපි අපේ තර්ක දිනන්න උත්සාහ කරනවට වඩා නුවණට හුරුයි දෛවයේ හිමිකම් අපට කෙසේ හෝ ලැබෙන බවත් අහිමි දේ අපෙන් ඈත්වෙන බවත් තේරුම් අරගෙන ජීවත් වීම.
මේ ඉන්නෙ එහෙම කෙනෙක්. තිස්සමහාරාමය කියන ගැමි පරිසරයේ උපත ලබන ඔහු ප්‍රාථමික අධ්‍යාපනය හදාරන්නෙ දෙබරවැව ප්‍රථමික විදුහලෙන්. ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා කොළඹ ඉසිපතන විද්‍යාලයට ඇතුළත් වෙලා උසස් පෙළ හදාරන්න කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වෙනවා. උසස් අධ්‍යාපනයට නීතිවේදී උපාධිය හදාරන අතරතුර සංචාරක කර්මාන්තය තුළ විධායක නිලධාරියකු ලෙස සේවයේ යෙදෙන හෙතෙම ඉංග්‍රීසි භාෂාව උගන්වන්නට යොමු වෙනවා.
එතනින් නතර නොවී 2018 වසරේ තමන්ගේම අධ්‍යාපන ආයතනයක් ආරම්භ කරනවා. සංචාරක කර්මාන්තයට සමිප සබඳකම් තිබූ ඒ ආයතනය ලොවම වෙලාගත් කොරෝනා උවදුරත් සමඟ කඩා වැනේනේ ඔහුට හිමි දෛවයේ හිමිකම භාරගෙන ඒ හරහා අනාගතය ජයගන්නට මංපෙත් විවර කරමින්. අධ්‍යාපනයේ ඉහළ සාමාර්ථ ලබමින් සංචාරක ක්ෂේත්රය නියෝජනය කරමින් ඉංග්‍රීසි ගුරුවරයකු වෙමින් නීතිවේදී උපාධිය සමත් වුවත් තම යටි සිතේ පැළපදියම් වූ කාරණාවක් හිටිහැටියේ මෝදුවන්නේ මේ අතරතුරදී. අද වනවිට අපේ රටේ ප්‍රධාන දෙළුම් ව්‍යාපාරිකයා වෙමින් “මතකඩාර” නමින් ඒ ආශ්රිත නිෂ්පාදන පෙළක් සමාජයට තිලිණ කරන්නට සමත් වූ අසික පින්සර සමරසේකර ව්‍යාපාරික ලොව ජය ගනිමින් සමාජයට මෙහෙවරක් කරන්නට තමන් යොමුවූ හැටි තමයි මේ…
නීතිවේදී උපාධිය දක්වා උසස් අධ්‍යාපන කටයුතුවල යෙදුණ ඔබ ව්‍යාපාරික අංශයට යොමුවෙන්න හිතුවෙ ඇයි?
පාසල් යන කාලෙ ඉඳල මම උපරිමයෙන් මහන්සි වෙලා අධ්‍යාපන කටයුතුවල නිරත වුනේ අනාගතයේ නීතිඥවරයකු වෙනවා කියන ටාගට් එක හිතේ තියාගෙන. ඔය අතරෙ කවදහරි කෘෂිකාර්මික ව්‍යාපාරයක් ආරම්භ කරල ඒ හරහා මමත් දියුණු වෙන අතරෙ රටට යම් සේවයක් කරන්නත් මගේ යටිහිතේ ලොකු ආසාවක් කැමැත්තක් තිබුණා.
ඒ සඳහා දෙළුම් වගාව හා ඒ ආශ්රිත නිෂ්පාදනම තෝරා ගන්නට විශේෂ හේතුවක් තිබුණද?
ඔව්. විශේෂ හේතු කිහිපයක්ම තිබුණා. ප්‍රධානම දේ තමයි මට ඕන වෙලා තිබුණෙ කවුරුත් යොමු නොවෙන විදියේ වගා කටයුත්තක නියැලිලා ඒ ආශ්රිත නිෂ්පාදන හඳුන්වා දෙන්න. දෙළුම් කියන්නෙ දුර්ලභ ගණයේ පළතුරක්. අනික් අතට මගේ ගම වන තිස්සමහාරාමයේ තියෙන වියළි කාලගුණික තත්ත්වය දෙළුම් වගාවට හොඳින්ම ගැලපෙනවා. ඒ වගේම මේ සඳහා වන අලින්ගෙන් හානියක් සිදු වෙන්නනෙම නැති තරම්. මේ සිය කාරණා සැලකිල්ලට අරගෙන තමයි මම දෙළුම් වගාවට යොමු වුණේ.
අවසානයේ ඔබ සාර්ථක දෙළුම් වගාකරුවකු වුණා.
මම හිතන්නේ නෑ අදටත් මම 100% ක් එතැන ඉන්නවා කියල. මුල් කාලෙ ගත්තොත් 90% ක් මම අසාර්ථකයි. මොකද දෙළුම් කියන්නෙ වසර දෙකකට පස්සෙ ඵලදරන පළතුරක්. එතෙක් මේ වගාවේ නඩත්තුව සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීම මට විශාල ගැටලුවක් වුණා. ඒ සඳහා මම කෙටි කාලීනව ඵලදරන භෝග පවා වගා කළා. නමුත් ඒ හැම දේකින්ම වගේ මම අසාර්ථක වුණා.
ඒ අසාර්ථකත්වය ඔබ සාර්ථකත්වයට පෙරළනවා.
ඔව්. දෙළුම් කියන්නෙ ආවට ගියාට ලේසියෙන් පහසුවෙන් කරන්න පුළුවන් වගාවක් නෙමෙයි. මුලින්ම මා සතු ඉඩම් අක්කර 3 1/2 කින් මම වගා කළේ අක්කර 2 යි. එය තරමක් සාර්ථක වුණාට පස්සෙ තමයි ඉතිරි 1 1/2 වගා කළේ. මුලින්ම මට අස්වැන්නක් ලැබුණෙ 2022 අවුරුද්දෙ. වගාව නඩත්තු කරගෙන මම සාර්ථක වෙන අතරෙ තවත් කෙනෙකුට දෙන සහයෝගයක් විදියට අපි හැමෝම ගොඩයන්න හිතාගෙන මම පළාතේ අනෙක් ගොවියන්ගේ දෙළුම් එකතු කරල ඔන්ලයින් ෆ්ලැට් ෆෝම් එකක් හදල ලංකාව පුරා බෙදාහරින ව්‍යාපාරයක් ආරම්භ කළා. ඒ හරහා මට සතුටුදායක ආදායමක් හිමි වුණ නිසා මගේ වගාව සාර්ථකව ඉදිරියට ගෙන ඒමට හැකි වුණා. අදටත් ඒ ඔන්ලයින් ෆ්ලැට්ෆෝම් එක මම ඒ විදියටම පවත්වාගෙන යනවා.
දෙළුම් ආශ්රිත ඔබේ පළමු නිෂ්පාදනය ගැන කතා කළොත්
ඇත්තටම මුල් කාලේ මගේ හිතේ තිබුණෙ දෙළුම්වලින් වයින් එකක් හදන්න ඕන කියන එක. ඒත් මමම හිතුවා එවැනි දේකට නොගිහින් ඊට වඩා ප්‍රයෝජනවත් දෙයක් කළ හැකියි නේද කියල. ඔන්ලයින් ෆ්ලැට්ෆෝම් එක හරහා දෙළුම් විකුණද්දි සමහර වෙලාවට ඉතුරු වෙන අවස්ථා තියෙනවා. ඒවා අපතේ නොයවා ප්‍රයෝජනයට ගත හැකි ආකාරය මම නිතර දෙවේලෙ කල්පනා කළා. ඒ වෙලාවෙ මට දෙළුම් ගෙඩියේ පොත්ත සම්බන්ධව කරපු විද්‍යාත්මක පරීක්ෂණ වාර්තා ඇතුළත් ජර්නල්ස් කියවන්න අවස්ථාව උදා වුණා.
ඒ හරහා මම දැනගත්තා දෙළුම් පොතුවල යුෂවලට වඩා 50% ක් වැඩියෙන් ප්‍රතිඔක්සිකාරක තියෙන බව. පසුව මම අපේ රටේ සිංහල වෙද මහත්තුරු කිහිපදෙනෙක් හමුවී කතාබහ ඒ ගැන කතා බහ කළා. ඒ හැමදෙනාමත් මට ඒ ගැන බොහෝ පැහැදිලි කිරීම් කළා. විශේෂයෙන්ම ඉන්දියාවෙ රූපලාවන්‍ය කටයුතු සඳහා දෙළුම් පොතුවල කුඩු විශාල වශයෙන් ප්‍රයෝජනයට ගන්නවා. ඒ අනුව මගේ ප්‍රථම නිෂ්පාදනය හැටියට දෙළුම් පොතු විජලනය කර කුඩු කරල ඒ නිෂ්පාදනය ප්‍රමෝට් කළා.
හිතුමතේ එවැනි නිෂ්පාදන වෙළඳපොළට ඉදිරිපත් කළ හැකිද?
අමුද්‍රව්‍යයක් වෙළඳපොළට ඉදිරිපත් කිරීමට කිසිදු නීතිමය බාධාවක් නැහැ. ඒත් ඒ ආශ්රයෙන් යම් ආලේපනයක් නිෂ්පාදනය කරනවා නම් ඒ සඳහා ලියාපදිංචිය ලබාගත යුතුයි. දැනට ඒ සඳහා යොමු වී සිටිනවා.
මාතකඩාර කියන ඔබ ආයතනයේ ප්‍රධාන නිෂ්පාදනය මාත ප්‍රාණ හෙවත් ජීවිතය දෙන පානය ඒ ගැන සඳහන් කළොත්
මම බොහොම නිහතමානිව කියනවා අදටත් මම තමයි ලංකාවේ ප්‍රධානම ඔන්ලයින් දෙළුම් ව්‍යාපාරිකයා. ඒ හරහා මම අධ්‍යයනය කරපු දෙයක් තමයි 90% ක්ම අපෙන් දෙළුම් ගන්නෙ ඩෙංගු රෝගීන්, පිළිකා රෝගීන්,හිමොග්ලොබින් අඩු වූ අය එහෙමත් නැත්නම් ගර්භනි මවුවරුන් කියන එක. ඒ නිසා එදා වගේම අදත් විවිධ රෝගි අවශ්‍යතා නිසා දෙළුම් සොයාගෙන එන අයට මම මූලිකත්වය දෙනවා. දෙළුම් කියන්නෙ අවුරුද්ද පුරා ඵලදාව තියෙන පලතුරක් නෙමෙයි. වසරේ මුල් මාස 7 1/2 ක 8 ක කාලයක් ඵලදාව නෑ. හිඟ කාලෙදි අත්‍යවශ්‍ය කෙනෙකුට ගුණාත්මකව දෙළුම් අවශ්‍යතාවය සපුරා ගන්න තමයි මේ නිෂ්පාදනය මම ආරම්භ කළේ.
මේ පානයේ ප්‍රමිතිය ගැන ඔබේ අදහස
ඇත්තටම මේක මම ආවට ගියාට මගේ හිතුමතේට පටන් ගත්තු කාර්යයක් නෙමෙයි. ආහාරපානවල ගුණාත්මක බව වගේම ප්‍රමිතිය පරීක්ෂා කරන ලංකාවේ තියෙන ප්‍රධානම ආයතනය වන ඉන්ඩස්ට්‍රියල් ටෙක්නොලොජිකල් ඉන්ස්ටියුට් (ITI) ආයතනය හරහා ලබාදෙන සියලුම තත්ත්ව සහතිකවලට අනුව තමයි මේ නිෂ්පාදනය සිදු කෙරෙන්නෙ එම ආයතනයෙන් මේක ගුණාත්මක ප්‍රතිඔක්සිකාරක පානයක් කියල තහවුරු කරල තියෙනවා. එහිදී මිලිලීටර් 200 ක දෙළුම් යුෂ බෝතලයක් සඳහා අපි දෙළුම් කිලෝ එකක් භාවිතා කරනවා.
ඉතාමත් සෞඛ්‍යාරක්ෂිතව ගෙඩියේ මාංශල කොටස පමණක් මිරිකා ලබාගන්නා යුෂ තමයි මේ සඳහා යොදා ගන්නෙ. වතුර, සීනි හෝ වෙනත් කිසිදු රසායනික ද්‍රව්‍යයක්, වර්ණයක් මේ පානයට ඇතුළත් වෙන්නෙ නෑ කියන එක මම බොහොම වගකීමෙන් කියනවා. විශේෂම කාරණාව මෙම පානය රෝගියෙකුට සාමාන්‍ය බිම බෝතලයක් වගේ එක හුස්මට බොන්න බැහැ. එය එලෙස පානය කිරීමත් එතරම් සුදුසු නැහැ. බෝතලය විවෘත කළ දිනයේ සිට ශීතකරණයේ තබා දින පහක් වැනි කාලයකදී පානය කිරීම තමයි වඩාත් සුදුසු.
අවාරය සඳහා දෙළුම් පිටරටින් ආනයනය කිරීමට අදහසක් නැද්ද?
ඒක මගේ ප්‍රතිපත්තියට සම්පූර්ණ විරුද්ධයි. ලංකාවට වැඩියෙන්ම දෙළුම් එවන්නෙ ඉන්දියාවෙන්. එහිදී මේ වගාවට Monocrotophos සහ Dimethoate කියන උග්‍ර විෂ රසායනික දෙක යොදනවා. මනුෂ්‍ය ශරීරයට අහිතකර නිසා ලංකාවේ ඒ රසායනික ද්‍රව්‍ය තහනමට ලක් කරලයි තියෙන්නෙ. දෙළුම් ගෙඩියට එවැනි විෂක් ඇතුළ් වෙනව කියන්නෙ ඒක මනුෂ්‍ය ශරීරයකට කොහෙත්ම ඔරොත්තු නොදෙන තත්ත්වයක්.
ආයතනය ගැන කතා කළොත්
තිස්ස කතරගම ප්‍රධාන මාර්ගයේ තමයි මතකඩාර කියන මගේ නිෂ්පාදන ආයතනය පිහිටලා තියෙන්නෙ. දැනට එහි 18 දෙනෙක් පමණ සේවය කරනවා. මම වගේම ඔවුන් හැම දෙනාමත් තත්ත්වයෙන් උසස් නිෂ්පාදන සමාජයට දායාද කරන්නට මා සමඟ අත්වැල් බැඳගෙන සිටීම මම ලබපු තවත් එක් ජයග්‍රහණයක්.
ධම්මික හේවාවසම් ✍️