සහල් ඇටයක වැඩිම පෝෂණ ප්‍රභවයන් අන්තර්ගතව තිබෙන්නේ එහි නිවුඩ්ඩ යනුවෙන් හැඳින්වෙන කොටසේ බැව් අපි දන්නවා. ඒ වුණත් සහල් පිරිපහදු කිරීමේදී බොහෝ දුරට මේ නිවඩ්ඩ සහිත කොටස ඉවත්වෙනවා. ඒවා සත්ත්ව ආහාර විදිහට එහෙම නැත්නම් පොහොරක් ලෙස යොදාගැනීම හැරුණාම වෙනත් විදිහකට පාවිච්චි වෙන්නෙ නැති තරම්. විටමින් ඊ ඌනතාවට මේ නිවුඩු කොටස බෙහෙවින්ම ගුණදායකයි.ඉතින් මෙලෙස ඉවත දමන දෙයට අගයක් එකතු කරලා හදන අයිස්ක්‍රීම් වැනි මිහිරි අතුරුපසක් ගැන තොරතුරක් ලැබෙනවා නම් ඒ ආරංචිය පවා ඔබට මිහිරි වනවා නොඅනුමානයි. මාතලේ මාදිපොල පදිංචි විහංගා විදුමිනි ජීරසිංහ නම් වූ ඇය මාතලේ විද්‍යා විද්‍යාලයේ ( Science college) හි ආදි ශිෂ්‍යාවක්’ ජෛව පද්ධති තාක්ෂණ අංශයෙන් උසස් පෙළ සමත් වූ ඇය රත්මලානෙ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයෙන් ආහාර සැකසුම් තාක්ෂණය පිළිබඳ උපාධි පාඨමාලාව හදාරනවා. එහිදී ඇය හදාරණ පාඨමාලාවට අනුව සෑම වසරකම පැවැත්වෙන Pro food Pac ආහාර ප්‍රදර්ශනය වෙනුවෙන් යම් ආකාරයක නවමු ආහාර නිෂ්පාදනයක් ඉදිරිපත් කරනවා. එහිදී ඇගේ නිෂ්පාදය වෙනුවෙන් විශිෂ්ට ජයග්රහනයක් ඇයට හිමිවනවා.
මේ ආහාර ප්‍රදර්ශනය වෙනුවෙන් ඔබ සම්බන්ධ වුණේ…
මම මීට පෙරාතුවත් මෙම ආහාර ප්‍රදර්ශනය වෙනුවෙන් රටඉඳි සහ කඩල පිටි යොදාගෙන සකස් කළ අයිස්ක්‍රීම් එකක් අපේ කණ්ඩායම සමග ඉදිරිපත් කළා. මේ අයිස්ක්‍රීම් එක “Nutra Plus” යනුවෙන් නම් කළා. එය profood propack ys commercially viable product අංශයෙන් 1 st runnerup වුණා. මේ අයිස්ක්‍රීම් එක පෝෂණයෙන් ඉහළයි. සීනි ප්‍රතිශතයත් අඩුයි. තන්තු වැඩියි. දියවැඩියා රෝගීන්ට, කුඩා දරුවන්ට වගේම රෝගී අයටත් වෙනසක් නැතුව ආහාරයට ගැනීමේ හැකියාව තිබෙනවා. ඒත් කොවිඩ් වසංගතයත් සමග අපේ විශ්වවිද්‍යාලය තාවකාලිකව වැසුණ නිසා ඒ නිෂ්පාදනය වැඩි දියුණු කරන්න අවස්ථාවක් ලැබුණෙ නැහැ.
මේ වසරේ ආහාර ප්‍රදර්ශනය වෙනුවෙන් මට අලුත් දෙයක් ඉදිරිත් කරන අදහස තිබුණා. මේ වනවිට මම තුන්වන වසරේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවක්. ඉතින් මෙම නිෂ්පාදනයේදී නැවුම් වගේම පෝෂණීය ගුණය, අපතේ යෑම වළක්වා ගැනීම ගැනත් මම අවධානය යොමුකළා. මේ පර්යේෂණයේදී මම හාල්වල නිවුඩු තෙල් අරගෙන අයිස්ක්‍රීම් එකක් නිෂ්පාදනය කළා. අපේ රටේ නිවුඩු හාල් භාවිතය ප්‍රවර්ධනය කිරීම මෙහිදී මගේ අරමුණ වුණා.
සහල්වල නිවුඩු කොටසේ පෝෂණය ගැන තොරතුරු…
මම සහල්වල නිවුඩු කොටසේ අන්තර්ගත පෝෂණය ගැන තොරතුරු හොඳින් විමර්ශනය කළා. අපේ රටේ මේ නිවුඩු කොටස ආහාර විදිහට පරිභෝජනය නොකළත් බොහෝ රටවල නිවුඩු කොටස ආහාරයට ගන්නවා.අස්වනු කාලයේදී සහල් පිරිපහදු කිරීමේදී නිවුඩු කොටස ඉවත දමනවා. ඒ අනුව මේ ඉවත දමන නිවුඩු තෙල් යොදාගෙන අයිස්ක්‍රීම් එකක් ඉදිරිපත් කිරීමේ අදහසක් මගේ සිතට ආවා ඒ වගේම අද ආහාර නිෂ්පාදන කටයුතු වෙනුවෙන් විවිධ අමුද්‍රව්‍ය යොදාගන්නවා. ඒවායේ ආරක්ෂාව ගැනත් සහතික වෙන්න බැහැ.
හාල් නිවුඩුවල 10% සිට 15% ක් ප්‍රතිශතයක් ලෙස තෙල් අඩංගුයි. එය විශාල පෝෂණ වාසියක්.චීනය, ජපානය වැනි රටවල හාල් නිවුඩු තෙල් හඳුන්වන්නේ “ heart oil ’ “Healty oil ” යන නම්වලින්. ඒ තරමටම ඔවුන් මේ නිවුඩුවලට පෝෂණ වටිනාකමක් ලබා දී තිබෙනවා.
නිවුඩු තෙල් කොලෙස්ටරෝල් රෝගීන්ට ගුණයි. ඒ විතරක් නොවෙයි සාමාන්‍ය අයට පවා HDL එහෙම නැත්නම් හිතකර කොලෙස්ටරෝල් මට්ටම ඉහළින් පවත්වා ගැනීමේ හැකියාවක් එයින් ලැබෙනවා. අද ලෝකයේ පිළිකා රෝගීන්ගේ වාර්තාවීම් දිනෙන් දිනම ඉහළ යනවා.නිවුඩු තෙල් ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුක්ත නිසා පිළිකා රෝග තත්ත්වයෙන් ආරක්ෂා වීමේ හැකියාවත් ලැබෙනවා. සෞඛ්‍ය පැත්තෙන් බලනවිට මේ අන්දමේ ප්රතිලාභ බොහොමයක් නිවුඩු කොටස තුළ තිබෙනවා.අයිස්ක්‍රීම් නිෂ්පාදනයට යොදාගන්නා කිරි මේදය අදවන විට අධික මිලක් ගන්නවා.
දියවැඩියාව, රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම ඉහළින් ඇති අයට අගුණ නිසා බොහෝ දෙනෙකුට අද අතුරුපසක් විදිහට අයිස්ක්‍රීම් එකක රස බලන්න අවසර නැහැ. ඒ නිසාම මම විකල්ප අමුද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කළ අයිස්ක්‍රීම් එකක් වෙනුවෙන් යොමුවුණා.
හාල් නිවුඩුවලින් තෙල්…
අපේ රටේ හාල් අඹරන මෝල්වලින් නිවුඩු කොටස ඉවත දානවා. මේවායේ තෙල් තිබෙන බව බොහෝ දෙනෙක් දන්නෙ නැහැ.නිවුඩු නිස්සාරණයෙන් ලබාගන්නා තෙල් මම අයිස්ක්‍රීම් සකස්කිරීමේදී අමුද්‍රව්‍ය විදිහට යොදාගත්තා.
අයිස්ක්‍රීම් නිෂ්පාදනයේදී…
අයිස්ක්‍රීම් නිෂ්පාදනයේදී කිරි මේදය වෙනුවට නිවුඩු තෙල් එකතු කරනවා. අයිස්ක්‍රීම් ලීටරයක් නිෂ්පාදනය වෙනුවෙන් නිවුඩු තෙල් මිලිලීටර් 100 – 120 ක් පමණ එකතු කරනවා. මෙහිදී ඕනෑම සහල් වර්ගයක නිවුඩු යොදාගන්න හැකියාව තිබෙනවා. මෙය කහ පැහැති වර්ණයකින් යුක්තයි. එය ස්වභාවයෙන්ම ලැබෙන වර්ණයක් මිස කෘතිම රසකාරකයන් යොදාගැනීමක් නෙවෙයි. රසයේ හෝ පෙනුමේ කිසිම වෙනසක් ඇති වෙන්නෙත් නැහැ. මෙම නිෂ්පාදනය “Branoillie” යනුවෙන් මම නම් කළා.
ඔබ තවදුරටත් මේ නිෂ්පාදනය වැඩිදියුණු කළා…
ඔව්. දෙවැනි අදියර විදිහට මම අලුත් රසයකින් මේ “Branoillie” අයිස්ක්‍රීම් එක තවත් දියුණු කළා.අපි අයිස්ක්‍රීම් එකකින් රසබලන සම්ප්‍රදායික රස වෙනුවට මසාලා චායි රසැති සහ ඉඟුරු රසයෙන් යුක්ත අයිස්ක්‍රීම් රසයට වැඩිදියුණු කළා.
2023 Pro food propack ප්‍රදර්ශනයට මේ වැඩිදියුණු කරන ලද හාල් නිවුඩු අයිස්ක්‍රිම් එක ඉදිරිපත් කළා.මගේ පර්යේෂණ කාර්යය වෙනුවෙන් අපේ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනවේදී උපාධි පාඨමාලාවේ සහෝදරියක්ද සහායට සම්බන්ධ වුණා. ඇය වැල්ලවායේ හංසිකා මධුශානි.
අපේ අයිස්ක්‍රීම් නිෂ්පාදනය ඉදිරි මාසයේදී වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය මගින් පවත්වන “Interítional research sympociam ” එකට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මෙය නවතම සොයා ගැනීමක් විදිහට එළිදැක්වෙන නිෂ්පාදනයක්. ඒ නිසා හැම දෙනාටම අලුත් රසයක් ගැන අත්දැකීමක් මේ හරහා ලබාගන්න හැකියාවක් ලැබේවි යන්න මගේ විශ්වාසයයි.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️