දියවැඩියා රෝගියෙක් වුණොත් තමන්ගේ රුධිරගත සීනි මට්ටම පාලනයකින් පවත්වා ගැනීම සෑහෙන වගකීමක්. මේ වෙනුවෙන් දිගුකාලීනව ඖෂධ භාවිත කිරීමට අවශ්‍ය වෙනවා. එයිනුත් සුවයක් නොලැබෙන රෝගීන්ට ඉන්සියුලින් එන්නත් ලෙසින් ලබා ගැනීමට සිදු වෙනවා. නමුත් මේ විකල්ප හැර දැන් තවත් අලුත්ම ක්‍රමයක් හඳුනා ගැනීමට පර්යේෂකයන් සමත්ව සිටිනවා.
රුධිරයට සීනි ලැබෙන හැටි
අප විසින් ලබා ගන්නා ආහාර ජීරණයෙන් පසුව ඇති වෙන සීනි රුධිරය සමග සංසරණය වෙනවා. ශරීරයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ශක්තිය සීනි මගින් ලැබෙනවා. ආහාර නොගෙන සිටින අවස්ථාවන්හිදී සිරුරට අවශ්‍ය සීනි අක්මාව වෙතින් නිදහස් කරනවා. සිරුරට ලැබෙන වැඩිපුර සීනි අක්මාව මගින් ගබඩා කරගෙන අවශ්‍ය අවස්ථාවන්හිදී නිදහස් කිරීමක් සිදු වෙනවා. මේ සඳහා ඉන්සියුලින් වැදගත් මෙහෙයක් ඉටු කරනවා. නීරෝගී පුද්ගලයෙකුගේ රුධිරගත සීනි මට්ටම නීරෝගී අගයක පවත්වා ගැනීමේ හැකියාව තිබුණත්, දියවැඩියා රෝගියෙකුට ඒ හැකියාව නැහැ.
ඒ නිසාම ඔවුන්ට රුධිරගත සීනි මට්ටම පවත්වා ගැනීමේදී ගැටලු ඇති වෙනවා.දියවැඩියා රෝගියෙක් කී විටම ඒ පුද්ගලයාගේ රුධිරගත සීනි මට්ටම පිළිබඳ ගැටලුවක් ඇති බැව් අප දන්නවා. සමහර විට මෙම රෝගීන්ගේ සිරුර තුළ අවශ්‍ය ප්‍රමාණයට ඉන්සියුලින් නිපදවීමක් සිදු වෙන්නේ නැහැ.ඒ වගේම සමහර රෝගීන් ඉන්සියුලින් නිවැරදිව භාවිත වීමක් සිදු වෙන්නේ නැහැ. මේ තත්ත්වය නිසාම සමහර දියවැඩියා රෝගීන්ට ඉන්සියුලින් එන්නත් කර ගැනීමට සිදු වෙනවා.
සීනි ස්පොන්ජිය (sugar sponge)
චීනයේ ෂැන්හායි හි ටොන්ග්ජි විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාඥ ජියැන්ෂැන්ග් ඩු විසින් හඳුන්වා දෙන ලද මෙම විකල්ප මෙවලම sugar sponge යනුවෙන් හඳුන්වා දී තිබෙනවා. මෙම උපාංගය ස්වරූපයෙන් ගෝලයකට සමානයි. නැනෝ පරිමාණ උපකරණය ප්‍රමාණයෙන් මිනිස් කෙස් ගසක විෂ්කම්භයෙන් සියයෙන් එකක් පමණ වෙනවා. ලෙක්ටින් තවරන ලද මෙම උපකරණය එන්නත් කිරීමක් මගින් මිනිස් රුධිරයට ඇතුළු කරනවා.
මෙම පර්යේෂණය සඳහා චීනයේ National Natural Science Foundation of China ෂැංහයි හි ජාත්‍යන්තර විද්‍යා පදනම, චීනයේ Thousand Talents Plan සහ මධ්‍යම විශ්වවිද්‍යාලයේ මූලික පර්යේෂණ පදනම විසින් අරමුදල් සපයා තිබෙනවා.
රුධිරයට ඇතුළු කිරීමෙන් පසුව
සීනි ස්පොන්ජිය සිරුරට ඇතුළු කිරීමෙන් පසුව එය මිනිස් රුධිරයේ එහා මෙහා ගමන් කරනවා. දියවැඩියා රෝගියෙකුගේ රුධිරගත සීනි මට්ටම ඉහල අගයක පවතින විට මෙම ස්පනේජිය විසින් එම වැඩි සීනි ප්‍රමාණය අවශෝෂණය කර ගන්නවා. එවිට ස්පොන්ජිය ප්‍රමාණයෙන් විශාල වෙනවා.
සාමාන්‍ය ස්පොන්ජියක් වතුර උරා ගත් විට විශාල වෙනවා. ඒ වගේම මෙම ස්පොන්ජිය ග්ලුකෝස් උරාගත් විට ස්වයංක්‍රිය ලෙසින්ම විශාල වෙනවා. සාමාන්‍ය ස්පොන්ජියක වතුර මිරිකා හැරිය විට වියළි තත්ත්වයට පත් වෙන සේම නැවතත් ග්ලුකෝස් නිදහස් කිරීමේ හැකියාවත් මේ ස්පොන්ජියට තිබෙන බැව් ජියැන්ෂැන්ග් ඩු සඳහන් කරනවා.
මෙම පර්යේෂණය වෙනුවෙන් මීයන් 20 දෙනෙකු තෝරා ගෙන ඔවුන්ගේ සිරුරට සීනි ස්පොන්ජියක් ඇතුළු කළා. එහිදී මීයන්ගේ රුධිරයේ සීනි මට්ටම අඩු සහ වැඩි වෙන විට උපාංගයේ ක්‍රියාකාරීත්වය ඉතා සාර්ථක ලෙසින් ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඒ අනුව මෙය මිනිස් සිරුර වෙනුවෙන්ද ඉදිරියේදී ක්‍රියාත්මක කළ හැකි බැව් පර්යේෂකයන්ගේ අදහසයි. තව දුරටත් ඒ වෙනුවෙන් පර්යේෂණ සිදු කළ යුතු බැව් ජියැන්ෂැන්ග් ඩු සඳහන් කරනවා.
රුධිරගත සීනි මට්ටම පහළ ගියොත්
දියවැඩියා රෝගීන් මුහුණ දෙන තවත් බරපතල ගැටලුවක් තමයි ඔවුන්ගේ රුධිරගත සීනි අගය පහළ බැසීම. ඒ නිසා ඇති වෙන සංකුලතාවයන් නිසා මරණය පවා සිදු වෙන්න ඉඩ තිබෙනවා. හයිපොග්ලයිසීමියා යනුවෙන් හැඳින්වෙන මේ දරුණු තත්ත්වය ගැනත් දියවැඩියා රෝගියෙක් වගේම ඔවුන් ඇසුරේ සිටින අයත් අවධානයෙන් සිටීම වැදගත්.රුධිරගත සීනි අගය පහළ බැසීමේ අවදානම ගැන අවධානයෙන් සිටි අයට දැන් නිදහස් වීමට කාලය ඇවිත් බවයි. ඊට හේතුව මේ වගකීමත් සීනි ස්පොන්ජිය විසින් භාර ගෙන තිබෙනවා. දියවැඩියා රෝගියාගේ රුධිරයේ සීනි මට්ටම අඩු වෙන අවදානමක් ඇති වූ විට සීනි ස්පොන්ජිය විසින් රුධිරයට අවශ්‍ය සීනි මුදා හැරීමත් සිදුවෙනවා.
අනාගත දැක්ම
ඇමරිකා එක්සත් ජනපදයේ රෝග පාලනය සහ නිවාරණ මධ්‍යස්ථානය සඳහන් කරන අන්දමට 2050 වනවිට ඇමරිකා එක්සත් ජනපදයේ පුද්ගලයින් තුන් දෙනෙකුගෙන් එක් අයෙකු දියවැඩියා රෝගියෙකු බවට පත් වීමේ අවදානමක් තිබෙනවා. ඉන්සියුලින් එන්නත් කිරීම සහ ඖෂධ මත යැපීම එක් අතකින් හිරිහැරයක් සහ තවත් අතකින් වේදනාකාරී අත්දැකීමක්.
සාමාන්‍ය ජීවිතයේදී මෙම ප්‍රතිකාර මත යැපෙන්නට සිදුවීම නිසා ඔවුන්ගේ ජීවිතයේ ගුණාත්මක බවටත් ගැටලුවක්.නමුත් සීනි ස්පොන්ජිය රුධිරයට ඇතුළු කිරීමෙන් පසුව දියවැඩියා රෝගීන්ට ඖෂධීය ප්‍රතිකාර වෙනුවෙන් වෙහෙස වීමක් අවශ්‍ය නැහැ. මෙම පර්යේෂණ වාර්තාව Journal of the American Chemical Society මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
( ACS.com ඇසුරෙන් )
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️