බුදුරජාණන්වහන්සේ නමක් තුන්ලෝකයට පහළ වෙන්නේ ඉතාමත් කලාතුරකින්. ඒ වගේම තථාගත ධර්මයක් අහන්න ලැබෙන්නෙත් කලාතුරකින්. බුදුරජාණන්වහන්සේ නමක් වගේම ශ්‍රී සද්ධර්මයත් දෙකම තිබුණත් මනුෂ්‍ය ආත්මයක් නොලැබුණොත් එය කොතරම් අභාග්‍යක්ද?
ඔබ අවාසනාවන්ත නැහැ
ලොව්තුරා බුදුරජාණන්වහන්සේ නමක් පහළ වුණ තථාගත ශ්‍රී සද්ධර්මය පවතින මේ බුද්ධෝත්පාද කාලයේ ඔබ මනුෂ්‍ය ජීවිතයක් ලබා ගෙන සිටිනවා. ක්ෂණ සම්පත්තියම ලැබිලා තිබෙනවා. ඒ වගේම එය සැමට පිහිටක්, පිළිසරණක් මේ බුදුසසුන තුළදීම සලසා ගන්න පුළුවන්.
සැප, සතුට සහ ආරක්ෂාව කාටත් අවශ්‍යයි
යම්කිසි වස්තුවකින් හෝ පුද්ගලයෙකුගෙන් සැප, සතුට සහ ආරක්ෂාව අපි සලසා ගන්නවා. එය මිනිසාට පමණක් නොව සතුන්ටත් පොදුයි. අපේ ජීවිතය පවත්වා ගැනීමට අපේක්ෂාවන් මුලින්ම උදව් වෙනවා. ඒ වගේම ආදරය සහ ආරක්ෂාව නිසා පුද්ගලයා සතුටින් සහ නීරෝගීව සිටීමට හේතු වෙන බැව් විද්‍යාත්මකවත් පෙන්වා දෙන කරුණක්. නමුත් එය පෘථග්ජන ස්වභාවයක් මිස ආත්ම විමුක්තිය සඳහා හේතු වෙන්නේ නැහැ.
තෙරුවන් සරණ යාම
සත්ත්වයෙකුගේ ජීවිතය පවත්වා ගැනීමට ආහාර, හිරු එළිය, වැස්ස, වාසස්ථානද ඥාතීන් හිතවතුන් මෙන්ම විශ්වාසවන්තයින් අවශ්‍යයි. එහෙත් මේ සියල්ලටම වඩා උතුම් පිහිටක් විශ්වයේ පවතිනවා. ඒ අන් කිසිවක් නොව තිසරණය හෙවත් තෙරුවන් සරණ යෑමයි.
එතං ඛො සරනං ඛේමං
එතං සරණ මුත්තම
එතං සරණ මාගම්ම
සබ්බ දුක්ඛා පමුච්චති
ඉහත දක්වන ලද ගාථා පද හතර ඒ බැව් මනාව සනාථ කරනවා. විවිධාකාර දුක් කම්කටොළු මැද ගෙවන ඔබේ ජීවිතයට ආධ්‍යාත්මික සුවය ලබා දෙන්නේ තෙරුවන් ගුණ මෙනෙහි කොට ඒ ගුණ මත පිහිටා ගෙවන උතුම් ජීවිතයයි.
භයෙන් තැති ගත් මිනිසුන් ඉර, හඳ, වැස්ස, අව්ව හා වෙනත් වස්තුන් දේවත්වයෙහි ලා සලකා තම ජීවිතයේ දුක් කම්කටොළුවලට පිහිට පැතීම මගින් පුද්ගලයාගේ ඇත්ත දුක් වේදනාවන් පහ වෙන්නේ නැහැ. ඉහත සඳහන් කළ ස්වභාවික වස්තූන් හෝ ගුප්ත දේ පිහිට කොට පැතීම තමාට තාවකාලික සුවයකි.
ඒ වුණත් යම් කෙනෙක් බුදුරජාණන්වහන්සේව පිහිට කර ගන්නවා නම්, ශ්‍රී සද්ධර්මය පිහිට කර ගන්නවා නම්, ආර්ය මහා සංඝ රත්නය පිහිට කර ගන්නවා නම් ඔහුට හෝ ඇයට බාහිර පිහිට සොය සොයා යන්නට අවශ්‍ය නැහැ. විවිධාකාර විදිහට පිහිට සොයා ගෙන ගියත් කොතරම් මුදල් වැය කරත් තෙරුවන් සරණින් ලැබෙන සදාතනික පිහිට ලබා ගන්නට බැහැ. ඒ නිසා ඔබ තෙරුවන් ගුණ මෙනෙහි කරන්න.
තෙරුවන් සරණ යෑම දෙයාකාරයි. එනම්,
ලෞකික සරණ යෑම
රත්නත්‍රය දැන හැඳින සිත පහදවා පිහිට පැතීම ලෞකික සරණ යෑමයි. ලෞකික සරණ යෑමේ ප්‍රතිලාභය ශ්රද්ධාවයි. සෘජු දෘෂ්ටියක ඒකාත්මික වීම ලෞකික සරණ යෑමේ ස්වභාවයයි. සද්ධර්ම ශ්‍රවණය, සත්පුරුෂ සේවනය ආදියෙන් රත්නත්‍රය හැඳින එහි සිත පහදවා ගෙන සරණ ගමනයට බාධක වූ දෘෂ්ටි විචිකිච්ඡාදී ක්ලේශයන් මැඩ රත්නත්‍රය උතුම් පිහිට සේ සලකා ගන්නා වූ පෘථග්ජනයන්ගේ සරණාගමනය ලෞකික සරණාගමනයයි.
ලෝකෝත්තර සරණ යෑම
බුද්ධාදී ආර්යෝත්තමයන් වහන්සේලා දුටු නිර්වාණය අරමුණු කොට කෙලෙසුන් කිරීමේ සිතුවිල්ල සමෘද්ධිමත් වීම, එසේත් නැත්නම් මතු යම් දිනක දැකීම් සහිතව සැක හැර සරණ යෑම ලෝකෝත්තර සරණ යෑමයි. එබඳු සරණ යෑමක් තුළ ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදී සියලු දුක්වලින් මිදෙන අතර උපාසකත්වය සහ බෞද්ධකමත් තහවුරු කරනවා.බුද්ධාදී රත්නත්‍රය උතුම් පිහිට වශයෙන් පිළිගැනීමට බාධක දෘෂ්ටි විචිකිත්සාදී ක්ලේශයෝ මතු කිසි කලෙක ඒ සන්තානයේ නූපදිනපරිද්දෙන් ප්‍රහීන වේ.
එයින් පසුව රත්නත්‍රය පිළිබඳ කිසිදු සැකයක් ඒ ආර්ය ශ්රාවකයාට ඇති නොවේ. ඒ තැනැත්තාට විශේෂ සමාදානයක් නොමැතිවම ඒ අවස්ථාවේදීම සරණාගමනය සිදු වෙනවා. ලෝකෝත්තර මාර්ගයාගේ බලයෙන් සිදු වෙන ඒ සරණාගමනය ලෝකෝත්තර සරණාගමනයයි. එහි බිඳීමක් හෝ කිලිටි වීමක් නැත. ලෝකෝත්තර සරණාගමනය ගිය ආර්ය ශ්රාවකයා මතු භවයකදී වුව අන්‍ය ශාස්තෘවරයෙකුගේ පිහිට සොයන්නේ නැත.
තෙරුවන් සරණ යන ආකාරය
සියළු දුකින් මිදීම සඳහා නිර්වාණාබෝධය පිණිස තෙරුවන් යන ආකාර සතරක් වේ.
ආත්ම සන්නියියාර්තන
දුකින් අත්මිදීම පිණිස නිවන් අවබෝධය පිණිස රත්නත්‍රයට ජීවිතය භාර කිරීම ආත්ම සන්නියියාර්තන නම් වේ.
තත් පරායතනා
භික්ෂුන්වහන්සේනමක් ඉදිරියේ තමා හෝ තමා විසින්ම “ බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි යනුවෙන් උතුම් සරණ ලෙස සරණ යෑම හෝ ඉටා ගැනීම තත් පරායතනා සරණාගමනයයි.
ශිෂ්‍ය භාවෝපගමන
මා අද පටන් රත්නත්‍රයේ සිසුවෙකු වෙමි. අතවැසියෙකු වෙමි යැයි සිතා ගැනීම හෝ ප්‍රකාශ කිරීම ශිෂ්‍ය භාවෝපගමනය වේ. නිවන් අවබෝධය තෙක්ම (යාව නිබ්බාණං) ශිෂ්‍යභාවය අන්තේවාසිකව පැවැතිය යුතුය.
ප්රනීපාත
තමා වෙතින් පරිබාහිර වූ පුද්ගලයන් සියල්ල ඉක්මවා තෙරුවන් වෙත කරන ගෞරවය ප්රනීපාත සරණාගමනයයි.
ප්රනීපාත සරණාගමනය සිව්වැදෑරරුම් වේ
ඥාතීන් කෙරෙන් පිහිට පැතීම
භය නිසා පිහිට පැතීම
ආචර්යවරුන් ලෙස සලකා පිහිට පැතීම
පූජාවට සුදුසුබව සලකා පිහිට පැතීම
බුද්ධ රත්නයේ සරණ යෑම
රෝගියෙකුගේ රෝගී තත්ත්වය හොඳින් නිරීක්ෂණය කොට සියලු තත්ත්වයන් සලකා බලා කරන ප්‍රතිකාර මගින් රෝගියෙකු සැනසිලි ජීවිතයක් ගෙවන්නේ යම් සේද, අනේකවිධ කෙලෙස්වලින් පීඩාවට පත්ව සංසාර සැඩ පහරට හසුව ගසාගෙන යන සත්ත්වයා ඉන් මුදවා දෙන බුදුරජාණන්වහන්සේ සරණ යා යුතුය. බුද්ධ රත්නය සරණ ගිය පුද්ගලයාගේ සසර භය දුරු වේ.
ධර්ම රත්නය සරණ යෑම
සසර තේරුම් ගැනීමට, සසර දුක නැති කර ගැනීමේ මාර්ගය අවබෝධ කර ගැනීමටත් අනුබල ලබා දෙන සංදෘෂ්ටික ධර්මය සරණ යන සත්ත්වයාගේ සසර දුක නිවාලයි. ඔහුගේ හිත සුව ඇති කරයි.
සංඝ රත්නය සරණ යෑම
දුක් පීඩාවන්ගෙන් තොරව, නිවන් දක්නා තෙක් සසර සැරිසරන සත්ත්වයාට ඒ සඳහා ශක්තිය ලබා දීමට අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නයේ ගුණ පිහිට වෙයි. එහෙයින් පුද්ගලයාට සංඝ රත්නයේ සරණ යෑම සෙත ශාන්තිය සලසන, භය නැති කරන, සසර දුක් නිවාලන සරණාගමනයක් වේ.
අග්නිදත්ත තවුසා තම ශ්රාවකයින්ට උපදෙස් ලබා දුන්නේ භයෙන් තැති ගත්තවුන් විපත්තීන්වලින් මිදෙන්නට නම් පර්වත, වනාන්තර, ආරාම, වෘක්ෂ ආදියේ සරණ යා යුතු බවයි. මෙම නිරර්ථක ක්‍රියාවෙන් මෙම පිරිස මුදවා ගනු පිණිස බුදුරජාණන්වහන්සේ මුගලන් මහ රහතන්වහන්සේ සමග ඔවුන් වෙත වැඩම කොට එතෙක් පිළිගෙන තිබූ වැරදි පිළිගැනීම් වටහා දුන් සේක.
ලෝකවිදූ බෞද්ධ මාධ්‍ය ජාලයේ
අධ්යක්ෂ හා ලෝකවිදු බෞද්ධ ආරක්ෂක පදනමේ අනුශාසක
අභිධර්ම විශාරද
පූජ්‍ය කොට්ටාවේ
විදුසීහ ස්වාමින්වහන්සේ
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️