ඔබගේ සොඳුරු කැදැල්ලේ අලංකාරය වැඩි කරගැනීම සඳහා ඔබ නොයෙකුත් ආකාරයෙන් භාණ්ඩ, පින්තූර ආදිය තබාගැනීමට පුරුදුව ඇති. එසේ නිවසේ අලංකාරය සඳහා තබාගන්නා පින්තූර හෝ භාණ්ඩ ඔබගේ ජීවිතයේ දියුණුවට මෙන්ම පරිහානියටද හේතු විය හැකි බව ඔබ මෙතෙක් දැන සිටියාද ..?
ජීවිතයට සෞභාග්‍ය උදාකරවන පින්තූර ලෙස ඔබගේ ආලින්දයේ සුදු අශ්වයකුගේ රූපයක් තැබීම ඉතා ශුභඵල ගෙන දෙන අතර එම අශ්වයා නිවස තුළට පැමිණෙන ආකාරයෙන් සකස් කරගත යුතුවේ.සුදු අශ්වයකු පිළිමයක් වශයෙන්ද නිවසේ තැන්පත් කර තබාගත හැකි නම් එයද යහපත් වේ. මේ තුළින් ඔබගේ ජීවිතයේ දියුණුව පෙන්නුම් කරන අතර ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ හැකියාව ලැබෙනු ඇත. ඉක්මනින් ජීවිතයේ දියුණුවක් මෙන්ම හදිසි ආර්ථික වාසි ලැබීම්වලටද හේතුවක් වනු ඇත.
එසේම බඩු පුරවාගත් නැව්වල පින්තූර හෝ අනුරුවක් නිවස තුළට ගමන් කරන ආකාරයෙන් තැබීමද ශුභදායක වේ. එය හැමවිටම ඔබේ ආර්ථිකය ශක්තිමත් කරවන පිහිටීමක් වන අතර අගහිඟතාවලට මුහුණ පෑමට සිදුනොවී ජීවිතයේ දියුණුව ළඟා කරදේ. මෙම නැව් ආකෘති නිවසින් පිටතට ගමන් කරන ආකාරයෙන් තැන්පත් කර තැබීමෙන් ඔබේ මුදල් කිසිදු හේතුවක් නිසා නිකරුණේ නැති නාස්ති වී නොයා පිරිමැසෙනු ඇත.
තවද ඔබේ ජීවිතයට සෞභාග්‍යය උදාකරන පින්තූරයක් ලෙස දියඇලි සඳහන් කළ හැකි අතර එවැනි පින්තුර නිවසේ ප්‍රධාන දොරෙන් ඇතුළු වනවිට මංගල බිත්තියේ දිස්වීමට සැලැස්වීම ඉතා යහපත් වේ. එහෙත් නිවසේ අලංකාරය වැඩිකර ගැනීමට යැයි සිතා පොකුණු ආදිය ඉදිකිරීම අශුභ වේ. මෝටරයක් මගින් ක්‍රියාත්මක වන දියඇලි මෙන්ම ජලයේ ශබ්දය ඇසෙන ලෙස සකසා ඇති විසිතුරු නිර්මාණ නිවසකට යහපත ගෙන දේ. එම ජල ශබ්දය හැමවිටම ධන ආකර්ෂණ ශක්තිය ගෙනදේ. ජලය දැකීමෙන් මෙන්ම ශබ්දය ඇසීමෙන් මානසික සුවය මෙන්ම සිතේ පවතින අශුභවාදී සිතුවිලිද ඉවත් වේ. ශුභවාදී ශක්තීන් ආකර්ෂණය කරගැනීමේ අපූරු හැකියාවක් මෙම ජල නිර්මාණවල පවතී. නමුත් මෙම ජල නිර්මාණයන් උතුර ඊසාන හැර වෙනත් දිශාවක ස්ථානගත කළහොත් එය ඔබේ පිරිහීමට හේතුවනු ඇත.
ඔබ අලංකාරය පිණිස තබා ගන්නා මාළු ටැංකි උතුර ඊශාන දිශාවල පමණක් තැබීම ඔබගේ දියුණුවට හා වාසනාවට හේතුවන අතර අපිරිසුදු ජලය එම ටැංකි තුළ ඇත්නම් සිදුවන්නේ අයහපත් ක්‍රියාවලියකි. විශ්ව ශක්තීන්ගේ ආකර්ෂණයට අලංකාරවත් බව මෙන්ම පිරිසිදුකම ඉතා වැදගත් වේ.එසේම තුන්පත් රෑන සහිත පින්තූර පිත්තලවලින් නිමකරන ලද ඉබ්බන්ගේ මෙන්ම ගෙම්බන්ගේ පිළිරූ තැබීමද සුබදායක වනු ඇත. එමගින් ඔබ බලාපොරොත්තු නොවූ වාසනාවක් ඔබට හිමිවනු ඇත.
සැමවිටම පවුලේ අයට මෙන්ම දකින ඕනෑම අයෙකුගේ සිතේ සතුට ඇතිවන ආකාරයෙන් පින්තූර පිළිම ස්ථානගත කිරීමට වගබලා ගත යුතුය.තවත් වැදගත්ම කාරණයක් වන්නේ ඔබගේ නිවසේ ප්‍රධාන දොරෙන් ඇතුළු වනවිට ඔබගේ ආගමික ශාස්තෘවරයන්ගේ පින්තූර හෝ අලංකාර නිමාවක් සහිත පිළිම ස්ථානගත කර තිබීමයි. එවැනි ඡායාරූප හෝ පිළිම කිසිසේත් ඔබගේ නිදන කාමර තුළ තැන්පත් කර තැබීම නොකළ යුතුය. එසේම ස්වස්තික ලකුණු, සීවලී යන්ත්‍ර, රත්නමාලි යන්ත්‍ර සහ අනෙකුත් ආගමික සංකේත ආදියද නිවසේ සාලයේ හැර වෙනත් කිසිදු ස්ථානයක තැන්පත් කිරීමෙන් වළකින්න.
බොහෝ දෙනෙකු තම මියගිය ඥාතිවරුන්ගේ පින්තූර රාමුකර නිතර පෙනෙන ආකාරයෙන් ස්ථානගත කර තැබීම සුලභව සිදුවන්නකි. එය වාස්තු විද්‍යානුකූලව අශුභය. එවැනි පින්තූර නිතර ඇසගැටීමට සැලැස්වීම තුළින් ඔබගේ ජීවිතයේ බලාපොරොත්තු නොවූ ගැටලුවලට පවා මුහුණ දීමට සිදුවිය හැකි අතර කෙනෙකුගේ මරණින් පසු ඔහුට හෝ ඇයට තව තවත් ඇලුම් කිරීම යහපත් කාරණාවක් නොවේ. කඳුළු පිරි දෙනෙතින් යුතු පින්තූර දුක්මුසු ස්වභාවය පෙන්නුම් කෙරෙන මුහුණු වෙනුවට ධනාත්මක සතුට දනවන ආකාරය පෙන්නුම් කෙරෙන පින්තූර නිවසක එල්ලා තැබීමෙන් එය ඔබේ මතු දියුණුවට හේතුවනු ඇත.
අලංකාර වාහන, අලංකාර කුරුල්ලන් මෙන්ම තමන්ගේ ජීවිතවල පවතින ඉලක්ක ජයගන්නා ආකාරය හඟවන දේ දකින්නට සැලැස්වීම විද්‍යානුකූලවද ප්‍රතිඵල දායක වේ.මේ අතර නිවසක අලංකාරය වැඩිකර ගැනීම උදෙසා කලාත්මක බවින් පිරිපුන් යැයි සිතා හිස් මැටි තැන්පත් කිරීම කිසිවිටෙකත් නොකළ යුතු අතර එමගින් සියල්ල හිස් වී ඔබ හිස් පුද්ගලයකු වන්නට හේතු විය හැකිය. එබැවින් එවැනි දේ අලංකාරය පිණිස භාවිත කරන්නේ නම් ඒවායේ වැලි හෝ ධාන්‍ය පුරවා තැබීම සුදුසු වේ.
පුන්කලස්වල අනුරූප ඉරහඳ ආදිය ඔබත් දකින අතර අන් අයටද දර්ශනය වීමට සැලැස්වීම යහපත් වේ.කුරුල්ලන් හැරගිය කූඩු මෙන්ම විවිධ සතුන්ගේ ඇටකටුද නිවෙස් තුළ තබාගැනීමට බොහෝ දෙනෙක් ප්‍රිය කරන අතර එමගින්ද ඔබ නොදැනුවත්වම සතුට සෞභාග්‍යයෙන් පිරී පැවති ඔබේ නිවස පාළුවට ගොස් ඒ තුළින් අඳුරු පෙනුමක් දිස්වීමට පටන් ගන්නේ ඔබ නොදැනුවත්වමය.
එබැවින් මේ ඉරහද යට ජීවත් වන ඔබට දැන හෝ නොදැන තමන් විසින්ම ඇතිකර ගන්නා විවිධ වාස්තු දෝෂවලින් පීඩා විඳීමට සිදුවේ. එම නිසා නිරතුරුවම නිවසේ අලංකාරය ගැන සැලකිලිමත් වන ඔබ යහපත සැලසෙන සතුට ගෙන දෙන පින්තූර මෙන්ම විසිතුරු බඩු භාහිරාදිය පමණක් සුදුසු දිශාවන්හි තැන්පත් කර තැබීම මගින් විද්‍යාවට පවා හසු නොවන විවිධ ශුභ ශක්තීන් මේ විශ්වය තුළින්ම ඔබේ නිවසට කැඳවා ගැනීමට කල්පනාකාරී වන්න. එමගින් ඇතිවන බුද්ධිමත් මනස තුළින් විශ්ව ශක්තීන්ගේ ආකර්ෂණය ඔබ වෙත ළඟාකර ගනිමින් සෞභාග්‍යයේ දොරටු විවර කරගැනීමට ඔබ සැමට හැකිවනු ඇත.
වාස්තු විද්‍යා විශාරද
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී දේශමාන්‍ය
අජිත් මද්දුමආරච්චි
සුබසෙත ජ්‍යොතිෂ මධ්‍යස්ථානය
දොම්පෙ
ධම්මික හේවාවසම් ✍️