අප විසින් නිවසක් ඉදිකරනු ලබන්නේ එම නිවස තුළ සතුටින් සමගියෙන් හා නීරෝගීමත්ව ජීවත් වීම සඳහාය. නමුත් එමගින් අප බලාපොරොත්තු වූ සතුට හා සැනසීම නොලැබී යනවා නම් එය කණගාටුවට කරුණකි. ප්‍රධාන වශයෙන්ම වාස්තු ශාස්ත්‍රය තුළදී දිශාවන් සහ එම දිශාවන්ගෙන් නිවසට ලැබෙන ශක්තීන් පිළිබඳව නිතර අවධානය යොමු කරන කරුණකි. එම නිසා යම් හෝ ප්‍රමාණයකින් මෙම සුදුසු දිශාවන්ගෙන් ලැබෙන ශුභ ශක්තීන් නිවසට නොලැබීම මගින් නිවසක් සම්පූර්ණයෙන්ම පාහේ අක්‍රීය වීම සිදුවේ. නමුත් ඇතැම් දිශාවන්ගෙන් එවැනි බලපෑමක් සිදු නොවන අතර මෙම සංකල්පය නිවසකට බලපානු ලබන්නේ අන්ධ බිත්තිය ( Blind wall ) මගිනි.
නිවසක අන්ධ බිත්තිය ( Blind wall ) යනු වැට මායිම මත ඉදිකරනු ලබන බිත්තියයි. එනම් මෙය ඉඩමක මායිම් දෙකක් වෙන් කරනු ලබන තාප්පයක් හෝ බැම්මක් වැනිය. මෙහිදි අන්ධ බිත්ති ලෙස හඳුන්වනු ලබන්නෙ මෙම බිත්තිය තුළ කිසිම විටක කුමන හෝ ආකාරයක ජනෙල්, දොරවල් හෝ කුඩා ප්‍රමාණයේ හෝ වාත කවුළු ඉදිකිරීමක් නොකළ යුතු බැවිනි. මෙය නිවසක් අක්‍රීය කිරීමක් වැනිය.
මෙය විශේෂ අවසරයකට යටත්ව ඉදිකළ යුතු ඉදිකිරීමක් බැවින් එය ඉතාම කල්පනාකාරීව ඉදිකළ යුතු දෙයකි. එයට හේතුව වශයෙන් පෙර සඳහන් කළ පරිදිම නිවසක් අක්‍රීය වීමට මෙම අන්ධ බිත්තිය බලපාන බැවිනි.
මෙහිදී ප්‍රධාන වශයෙන්ම උතුර, ඊසාන, නැගෙනහිර යන දිශාවන්ගෙන් නිවසට ලැබෙන ශුභ ශක්තීන් නිවස තුළට ලබාගැනීම අනිවාර්ය කරුණකි. එනම් මෙම දිශාවන් තුළ නිවසක දොර හෝ ජනෙල් අනිවාර්යෙන්ම තිබිය යුතුය. මෙහිදී දොරවල් තැබිය යුත්තේ සුදුසු ලෙස තෝරාගත් ප්‍රධාන දිශාවන් නියෝජනය වන පරිදිය.
වාස්තු ශාස්ත්‍ර සිද්ධාන්ත මත නිවසක් ඉදිකිරීමේදී එනම් ඉඩම තුළ නිවස ස්ථානගත කිරීමේදී උතුර, ඊසාන, නැගෙනහිර යන දිශාවන්වලට ඉඩමේ වැඩි ඉඩක් ඉතුරු කර නිවස සෑදිය යුතුය. මේ නිසා එම දිශාවන්ගෙන් නිවසට ලැබෙන ශක්තීන් එම නිවසට පහසුවෙන් ලැබීම සිදුවේ. දකුණු දිශාව සහ බටහිර දිශාවන් වලට ඉඩමේ වැඩි ඉඩක් තිබීම සාපේක්ෂව වශයෙන් අවශ්‍ය නොවේ.
උතුරු දිශාව තුළ අන්ධ බිත්තියක් පැවතීම තුළින් එම නිවසට ලැබෙන ධනාත්මක ශක්තීන් සම්පූර්ණයෙන්ම නැති වීම සිදු වේ. ඒ මගින් එම නිවැසියන් තුළ අලස සහගත ගති පැවතුම් ඇතිවීමද සිදු වන අතරම රැකියා සම්බන්ධද ගැටලු ඇති වේ. මීට අමතරව ධනයට හිමිකම් කියන මෙම දිශාව ව්‍යාපාරික ස්ථානයක් තුළ අහිමිකර ගැනීමද එම ව්‍යපාරය දියුණුවට බාධාවක් ඇති කරවයි.
නැගෙනහිර දිශාව තුළ අන්ධ බිත්තියක් පැවතීමද පෙර සේම ඉතාම ගැටලු සහගතය. නැගෙනහිරින් නිවසට ලැබෙන උදෑසන හිරු කිරණ නිවසට නොලැබීම ඉතාම අවාසනාවක් ලෙස පෙන්වාදිය හැකි අතර මෙමගින් අදාළ නිවැසියන් තුළ උද්යෝගය මදිකම සහ අලස ගතිය පෙන්නුම් කරන අතර කිසිදු අරමුණක් නොමැති පුද්ගලයන් බවටද පත් වේ.
තවද මෙම දිශාවෙන් නිවසට ලැබෙන ජීව ශක්තියද නිවසට නොලැබීම මත තමන්ගේ දියුණුව පිළිබඳව එතරම් සැලකිල්ලක් නොදක්වන අතර තම ජීවිත පිළිබඳව ධනාත්මකව සිතා කටයුතු නොකරයි.ඊසාන දිශාව තුළ අන්ධ බිත්තියක් පැවතීම එම දිශාවෙන් නිවසට ලැබෙන ශුභ අන්තරික්ෂ ශක්තිය නිවසට නොලැබීමට ප්‍රධානම හේතුව වේ. උතුර හා නැගෙනහිර යන දිශාවන් ද්විත්වයට මැදි වූ මෙම ඊසාන දිශාවෙ ශක්තීන් නිවසකට නොමැතිවීම පෙර සඳහන් කරන ලද උතුර හා නැගෙනහිර යන දිශාවන්ගේ අහිතකර බලපෑම්වල එකතුවක් ලෙස ලැබිය හැකිය.
මීට අමතරව නැගෙනහිර දිශාවක් සමඟ අන්ධ බිත්තිය පැමිණීමේදී ගිනිකොණ දිශාවට වන්නට මුළුතැන්ගෙයෙ පිහිටා ඇත්නම් එහි ඇති ආහාර පිසීමට ගන්නා උඳුන අන්ධ බිත්තිය සමග ස්ථානගත නොකිරීම සුදුසුය. නැතිනම් මෙවැනි අවස්ථාවක මුළුතැන්ගෙය වයඹ දිශාවේ සැලසුම් කිරීම වඩාත් සුදුසු ය.
වර්තමානයේ පවතින පර්චස් 06, 08, 10, 12, 12.5 වැනි කුඩා ඉඩම්වල නිවසක් ඉදිකිරිම ඉඩමේ විශාලත්වය අඩුවීම මත අපහසු වේ. මෙවැනි අවස්ථාවල අන්ධ බිත්තියක් ඉදිකිරීමට අවශ්‍ය නම් එය බටහිර දිශාවේ ඉදිකිරීම සුදුසුය.සාමාන්‍යයෙන් බටහිර දිශාවේ විශාල ජනෙල් ආදිය සැලසුම් කිරීම මඟින් සවස් කාලයේ පතින වන දැඩි හිරු රෂ්මිය නිවසට වැඩි වශයෙන් ලැබේ. මේ මගින් නිවසේ උෂ්ණත්වය වැඩිවීම සාමාන්‍යයෙන් සිදු වේ. ඊසාන දිශාවෙන් නිවසට ලැබෙන අන්තරික්ෂ ශක්තිය තැන්පත් වන දිශාව නිරිත දිශාව වේ.
මෙහිදි නිරිත දිශාවේ සුදුසුම ගෘහ අංගය වන ප්‍රධාන නිදන කාමරයේ ඇති ජනෙලය බටහිර දිශාවට වන්නට සැලසුම් කිරීමට වඩා දකුණු දිශාවට වන්නට සැලසුම් කිරීම මඟින් මෙම අන්තරික්ෂ ශක්තිය නිවස තුළ තැන්පත් වීම වර්ධනය කර ගැනීමට තවත් මහඟු පිටිවහලකි. එනම් නිරිත දිශාව වැඩි වශයෙන් ආවරණය කර ගැනීම වඩා සුදුසුය.
සාමාන්‍යයෙන් නිවසක් ඉදිකරගෙන යාම කෙටි කාළ සීමාවකට හෝ නතර කරන අවස්ථාවක ඊසාන දිශාවට සාපේක්ෂව වඩා වැඩි උසකින් නිරිත දිශාවේ ඇති බිත්ති වැඩි උසකින් බැද වැඩ තාවකාලිකව හෝ නතර කිරීම සුදුසුය. යම්කිසි නිවසක වැඩ අනපේක්ෂිත ලෙස අතරමග නැවතී ඇත්නම් එම නිවසේ ද ඊසාන දිශාවට සාපේක්ෂව නිරිත දිශාවට වන්නට ඇති බිත්තිය ගඩොල් පෙළි කිහිපයකින් හෝ උස්කර ගැනීම මගින් එම නිවසේ වැඩ කටයුතු නැවත සක්‍රීය කර ගැනීමට ඇති හැකියාව වැඩිවන බවද කිව යුතුය.
මීට අමතරව බටහිර දිශාව සමග අන්ධ බිත්තිය පැමිණිමේදී වයඹ දිශාවට වන්නට මුළුතැන්ගෙය පිහිටා ඇත්නම් එහි ඇති ආහාර පිසීමට ගන්නා උඳුන අන්ධ බිත්තිය මත ස්ථානගත නොකිරීම සුදුසුය. නැත්නම් මෙවැනි අස්ථාවක මුළුතැන්ගෙය ගිනිකොණ දිශාවේ සැලසුම් කිරීම වඩාත් සුදුසුය.
මෙම අන්ධ බිත්තියක් නිවසක ඉදිකිරීම ප්‍රායෝගිකවද ගැටලු ඇති කරවන සුළුය. එම අන්ධ බිත්තිය පින්තාරු කිරීමේ ගැටලු, බිත්තිය නිතර වැසි ජලයෙන් තෙත් වන අවස්ථාවල නිවස ඇතුළත බිත්තිවල ජල සලකුනු ඇතිවීම, විවිධ පුස් වර්ග සෑදීම ආදිය ද මෙහි ඇති ප්‍රායෝගික ගැටලු වශයෙන් පෙන්වා දිය හැකිය.
ඇතැම් අවස්ථාවල නිවසක දොරටු තැබීමේදී ද අන්ධ බිත්තිය මඟින් බාධා ඇති වේ. ෂෝඩශ ගෘහ වර්ග හෙවත් නිවසක දොරටු තැබීමේ ක්‍රම 16 ක් පවතින අතර ඉන් 09 ක් සුබ ලෙසත් 07 ක් අසුබ ලෙසත් සැලකේ. උදාහරණ ලෙස විශේෂයෙන්ම ඉඩමක කුඩා බව නිසාවෙන් ඉඩමේ පැති දෙකක් තුළ අන්ධ බිත්ති යෙදීම සිදුකරන අවස්ථා ඇත. එවැනි අවස්ථාවක නැගෙනහිර සහ බටහිර යන දිශාවන් දෙක තුළ අන්ධ බිත්ති යෙදීමේදී එම නිවසක ඇතුළුවීම හා පිටවීමට දොරටු තැබිය හැකි වන්නේ දකුණ හා උතුරු දිශාවෙන් පමණි.
එය “රිපුද” වශයෙන් හඳුන්වනු ලබන අසුබ දොරටු තැබීමක් වේ. මෙවැනි අවස්ථාවන් නූතන පිරමීඩ වාස්තු ශිල්පය මගින් නිවැරදි කර ගැනීමේ හැකියාව ඇත. අවම වශයෙන් ඉඩමේ ප්‍රමාණය මත හැකියාව ඇති අවස්ථාවන්හි නිවස වටා ගමන් කිරීමේ හැකියාව ඇතිවන පරිදි නිවස සහ වැට මායිම අතර අවම ඉඩක් එනම් අඩි 3 අගල් 3 පමණ ප්‍රමාණයක් ඉතුරුවන පරිදි නිවසක් සැලසුම් කිරීම වඩාත්ම සුදුසුය.
එසේ කිරීමට අසීරු අවස්ථාවලදී පෙර සඳහන් කළ සිද්ධාන්ත මත නිවසක් ඉදිකිරීම සුදුසු බවත් උතුරු, ඊසාන, නැගෙනහිර යන දිශාවන්වල අන්ධ බිත්ති යෙදෙන අවස්ථා ඇත්නම් එම දිශාවන් නියෝජනය වන පරිදි කුඩාවට හෝ අහසට විවෘත වූ මැද මිදුලක් නිර්මාණය කරගැනීම ප්‍රතිකර්මයක් ලෙස ද පෙන්වා දිය හැකි අතර දොරටු තැබීමේ ගැටලු ඇතිවන අවස්ථාවල නූතන පිරමීඩ වාස්තු තාක්ෂණය යොදාගැනීම ද තවත් එක් ප්‍රතිකර්මයක් වශයෙන් පෙන්වා දිය හැකිය. මේ අයුරින් බලන විට සොබාදහමේ ශක්තීන් බාධාවකින් තොරව නිවසට ලබාගැනීම මඟින් සියලු ශක්තීන් තුලනාත්මකව නිවස තුළ ඇති කරවන අතර සාමය, සතුට හා නිරෝගීකම සපිරි ආලෝකමත් නිවසක් ලබා ගත හැකිය.
වාස්තුවිද්‍යා විශාරද
නිවාස සැළසුම් ශිල්පී
අරෝෂ ජයවර්ධන
ආලෝකා Homes, මිනුවන්ගොඩ
ධම්මික හේවාවසම් ✍️