වාහනයේ කොටස්වල තත්ත්වය අනුව අපි මෝටර් රථයක යෝග්‍යතාවය පරීක්ෂා කරනවා. ඒ වගේම මිනිස් සිරුරක අභ්‍යන්තර ඉන්ද්‍රියන්ගේ තත්ත්වය අනුව අපි මොනතරම් වේගයකින් වයසට යනවාදැයි තීරණය කිරීමට හැකියාව තිබෙනවා. බොහෝ දෙනෙක් තමන්ගේ ජීව විද්‍යාත්මක වයස අඩුවෙන් පෙන්වා ගැනීමට උනන්දුවක් දක්වනවා. කෝටිපති තාක්ෂණික ව්‍යවසායකයෙකු වන බ්‍රයන් ජොන්සන් තමන්ගේ ජීව විද්‍යාත්මක වයස අඩුවෙන් පෙන්වා ගැනීම සඳහා දැඩි ව්‍යායාම මාලාවක්, විශේෂඥ අධීක්ෂණ සහ ප්‍රතිකාර ලබනවා. නමුත් ජීව විද්‍යාත්මක වයස මෙවැනි උත්සාහයන් මගින් අඩුකර පෙන්වූවත් සිරුර අභ්‍යන්තරයේ ඉන්ද්‍රියන්ගේ වයස්ගත වීම කල්තබා හඳුනා ගැනීම ගැන මෙතෙක් කිසිම කෙනෙකුගේ අවදානයක් දැක්වූයේ නැහැ.
රුධිර පරීක්ෂණයක්
ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් විසින් පුද්ගලයෙකුගේ අභ්‍යන්තර අවයවයන්හි යෝග්‍යතාවය හඳුනා ගැනීම වෙනුවෙන් යොදා ගත හැකි රුධිර පරීක්ෂණයක් පිළිබඳව අධ්‍යයනයක් සිදුකර තිබෙනවා. මෙම රුධිර පරීක්ෂණය මගින් මිනිස් සිරුරේ හදවත, මොළය, පෙනහැලි ඇතුළු ශරීරයේ ප්‍රධාන අවයව 11 ක් නිරීක්ෂණය කිරීමේ හැකියාව ඇති බැව් මෙම පර්යේෂකයින් විසින් සඳහන් කරනවා. මේ අධ්‍යයනය වෙනුවෙන් ඔවුන් වයස අවුරුදු 50 ඉක්මවූ සහ ඊට වඩා වැඩි වයස් කාණ්ඩයේ පුද්ගලයින් දහසක් පමණ සම්බන්ධ කර ගත්තා.
සෞඛ්‍ය සම්පන්නව සිටින බැව් අපට බාහිරව පෙනුනත් මෙම වැඩිහිටියන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට හෝ වේගයෙන් වයස්ගත වෙන එක් අවයවයක් හෝ තිබෙන බැව් අධ්‍යයනය අවසානයේදී ලබා ගත් දත්ත මගින් සනාථ වුණා. වයස අවුරුදු 50 ට සහ ඊට වැඩි පුද්ගලයන්ගේ අවයව වයසට යෑමේ වේගය අඩු වයසක පුද්ගලයෙකුට සාපේක්ෂව බලන විට 18.4% ක වේගයකින් ඉහළ බව අධ්‍යයනයේ සාමාජිකයෙකු වන ආචාර්ය ටෝනි විස් කුරේ සඳහන් කරනවා.
මේ තත්ත්වය අනතුරුදායක වුණත් කල් තබා හඳුනා ගැනීම නිසා ඔවුන්ගේ ජීවිතයට ආරක්ෂාවක් ලබා දීමේ හැකියාව ලැබෙන බවත් මෙම පර්යේෂකයින් විසින් පෙන්වා දෙනවා. ඊට අමතරව වයසත් සමග වේගයෙන් වයස්ගත විය හැකි අවයව මොනවාදැයි හඳුනාගැනීමටත් මෙම අධ්‍යයනය හේතු වෙන බැව් “නේචර්” සඟරාවට ප්‍රකාශයක් ලබා දෙමින් ඔවුන් සඳහන් කරනවා.
වයසට යන අවයව මොනවාද?
අපේ උපන් වයසට වඩා වේගයෙන් හෘදයවස්තුව වයස්ගත වීම නිසා හෘදයාබාධයක් ඇති වීමේ අවදානම වැඩි වෙනවා. මොළය වයසටත් වඩා වේගයෙන් වයස්ගත වුණොත් ඩිමෙන්ෂියා රෝග තත්ත්වය ඇති වීමේ අවදානම ඇති කරනවා. මිනිස් අවයව අතරින් එක් අවයවයක් හෝ වේගයෙන් වයසට යෑම යනු ඉදිරි වසර 15 ක් තුළ නිදන්ගත රෝගවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් මෙන්ම මරණය ඉක්මන් කිරීමක් බවත් ඔවුන් සඳහන් කරනවා. ඔවුන් විසින් පරීක්ෂාවට ලක් කරන ලද අවයව අතරට මොළය, හෘදයවස්තුව, අක්මාව, පෙනහැලි, අන්ත්රය,වකුගඩු, මේදය, පේශි, රුධිරනාල, ප්‍රතිශක්තිකරණ පටක සහ අග්න්‍යාශය ඇතුළත් වෙනවා.
මෙම රුධිර පරීක්ෂණයේදී විවිධ වර්ගයේ ප්‍රෝටීන දහස් ගණනක් විශ්ලේෂණය කළ අතර වෙනස් වේගයෙන් වයසට යන අවයව මොනවාදැයි හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව හඳුනා ගත් ප්‍රෝටීන රටා එක් එක් අවයවයන් වෙනුවෙන් සුවිශේෂී වුණා. රුධිර පරීක්ෂණ සහ ප්‍රතිඵල මගින් රෝගීන්ගේ දත්ත විශාල සංඛ්‍යාවක් භාවිත කරමින් අනාවැකි පළ කිරීම සඳහා වූ machine-learning ක්‍රමවේදයට අදාළ මෙම පරීක්ෂණය වෙනුවෙන් පේටන්ට් බලපත්‍ර ලබා ගැනීමට අවශ්‍ය සැලසුම් වෙනුවෙන්ද ඔවුන්ගේ අවධානය යොමු වී තිබෙනවා.
වැඩිදුරටත් පරීක්ෂණ කටයුතු .
ආචාර්ය විස් කුරේ විසින් අනාවරණය කර ගත් තොරතුරු ඉතාම ආකර්ෂණීයයි. මේ තත්ත්වය ජනවාර්ගික පසුබිම් අනුව වෙනස් වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා විවිධ ජනවාර්ගික පසුබිම්වල ජීවත්වන තරුණ පිරිස් සම්බන්ධවත් නියැඳියක් ලබා ගෙන මෙම අධ්‍යයනය තව දුරටත් සංවර්ධනය කිරීම වඩාත් උචිත බැව් ලන්ඩනයේ ක්වීන් මේරි විශ්වවිද්‍යාලයේ වයස්ගත වීම සහ රෝග පිළිබඳ මහාචාර්ය ජේම්ස් ටිමන්ස් සඳහන් කරනවා.
ඇත්තටම මේ තත්ත්වය වයසට යෑමක්ද? එසේ නැත්නම් වයසත ආශ්රිත රෝග තත්ත්වයන් ජෛව සලකුණු ඔස්සේ හඳුනා ගැනීමක්ද? බොහෝ අය මේ වෙනුවෙන් විවිධ තර්ක ගොඩ නගා තිබෙනවා. ඒ ගැන අදහස් දක්වන ආචාර්ය කුරේ සඳහන් කරන්නේ මතුපිටින් නීරෝගී පුද්ගලයන්ගේ එක් එක් අවයවවල සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් මිනිස් සිරුර අභ්‍යන්තරයේ වේගයෙන් වයසට යන අවයව අපට සොයා ගත හැකි බවයි.
ඒ නිසාම ඔවුන් වෙනුවෙන් වූ ප්‍රතිකාර කල් තබා ආරම්භ කිරීමේ හැකියාවත් ඇති වෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ග්ලාස්ගෝ විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාව සම්බන්ධ මහාචාර්ය පෝල්ස් ෂිල්ස් සඳහන් කරන්නේ පුද්ගලයෙකුගේ සෞඛ්‍ය පිළිබඳ වඩාත් නිවැරදි චිත්‍රයක් ගොඩනගා ගැනීම සඳහා තනි තනි අවයව දෙස පමණක් නොව සමස්ත ශරීරය දෙස බැලීම ඉතාම වැදගත්.
වයසත් සමග ඇතිවන බරපතළ රෝග තත්ත්වයන් කලින් හඳුනා ගැනීම වෙනුවෙන් විද්‍යාඥයින් විසින් සිදු කරන ලද මෙම ගවේෂණය ඉතාම වටිනා දෙයක්. ඒ නිසා දැනුමත් සමග ජීවත් වීමේ හැකියාව ලැබෙන බැව් කැරොලයින් ඒබ්රහම්ස් සඳහන් කරනවා.
(B.B.C ඇසුරෙන්)
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️