2024 CHALLENGES බාරගන්න
රටක් හැටියට ගත්තොත් ගෙවීගෙන යන මේ වසර ලක්වාසී සියලුම දෙනා බොහෝ අභියෝගවලට මුහුණ දුන්න වසරක්. කොවිඩ් තත්ත්වය එක්ක ඇතැමුන්ට රැකියා අහිමි වුණා. තවත් රැකියා අවස්ථා බොහෝමයක් මිනිස්සුන්ට අහිමි වුණා. ඒත් එක්කම දුප්පත්කම, අනාරක්ෂිතභාවයක් ඇති වුණා. දරුවන් අතර මන්දපෝෂණයත් වැඩි වුණා. අසමානතාවය තව තවත් පුළුල් වුණා. ඉතාමත් කලාතුරකින් තමයි මේ දේවල් කෙනෙක්ට දැනුණෙ නැත්තෙ. ඒ ඇරෙන්න සෑම පුද්ගලයෙකුටම මෙවැනි ප්‍රශ්න ජීවිතේට ආවා.
මුලින්ම රටක් විදිහට දැනුණ ප්‍රශ්න, මුහුණ දීපු අභියෝග ඊළඟට දැනෙන්න ගත්තෙ පවුලක් විදිහට. ඊටපස්සෙ පුද්ගලයට. පවුලක් විදිහට ගත්තම කලින් තමන් ජීවත් වුණ ජීවන රටාව පවත්වගෙන යන්න අසීරු තත්ත්වයක් ඇති වුණා. ඒත් එක්කම සමහරුන් මාසෙකට එකසැරේ ගත්ත බෙහෙත් ටික සති පතා ගන්න පටන්ගත්තා. ඒ අතරේ සමහරු දිනපතා බෙහෙත් ටික මිලදී ගන්න පෙළඹුණා. ගෙදරට අත්‍යවශ්‍යම භාණ්ඩයක් වුණත් මිලදී ගන්නකොට කිහිපසැරයක් හිතන්න වුණා. ඉතින් මෙවැනි අභියෝග රැසකට අපි මේ අවුරුද්දෙ මුහුණ දුන්නා.
ගමේ, නගරේ වෙනසක් නැතුව තමන්ගෙ දරුවන්ගේ පෝෂණය ගැන අම්මල තාත්තාල පසුතැවුණා. තමන්ගේ ආර්ථික මට්ටම එක්ක මහළු දෙමව්පියන්ට වෙලාවට බෙහෙත් ටිකක් අරන් දෙන්න බැරි වුණාම, ඒත් එක්කම දරුවොත් ලෙඩ වුණාම අම්මලා තාත්තලා හිතින් කඩා වැටෙන්න පුළුවන් උපරිමයෙන් කඩාවැටුණා. තව කෙනෙක්ට කියන්න පුළුවන් ඔය ළමයින්ට මෙහෙම කන්න දෙන්න අරහෙම කන්න දෙන්න කියල. නමුත් ඒ දරුවො කන්න පුරුදු වුණ විදිහක් තියෙනව.
පුංචි දරුවන්ව ඒ පුරුදුවලින් ඈත් කරවන එක හරි අමාරුයි. එකපාර එයින් මුදවන්න බෑ. එතකොට එයාලට කෑම, බීම, අතිරේක පෝෂණය සපුරන්නෙ කොහොමද කියලා සමස්තයක් හැටියට දෙමව්පියෝ කල්පනා කරන්න පටන්ගත්තා. ඒ වගේම වාහනයක් තියෙන අයට වාහනේ නඩත්තු කරගන්න බැරි වුණා. කැමති ගමනක් බිමනක් ගිහින් සතුටු වෙන්න තිබුණ අවස්ථා වුවමනාවෙන්ම මගහරින්න සිද්ධ වුණා. මිනිස්සුන්ට තමන්ගේ විනෝදාස්වාදය ගැන හිතන්නවත් බැරි වුණා. අපි දැක්කා පහුගිය කාලේ අපේ රටේ ලොකු ආර්ථික අරගලයක් පැවතුණු කාලෙ මිනිස්සු විනෝද වෙන්න විකල්ප මාර්ග හොයාගෙන තිබුණා. කලා ශිල්පියෝ නොමිලේ ප්‍රසංග පැවැත්වුවා මිනිස්සුන්ගෙ සතුට වෙනුවෙන්. වෙනසක් නැතුව ඒ හැමෝම ජීවන අරගලයට හැඩගැහෙන්න ලොකු වහෙසක් මහන්සියත් ගත්තා. තමන් රස්සාවක් කළොත් තමයි තමන්ගේ අවශ්‍යතාවයන් සපුරගන්න පුළුවන්. රැකියාවක් කරපු මිනිස්සුන්ට තමන්ට රැකියාව කරගෙන යන්න පුළුවන් මානසික මට්ටමක්වත් තිබුණෙ නෑ පහුගිය කාලෙ.
මේ ගෙවෙන්නේ මානසික සුවය අඩුවෙන්ම ලැබුණු වසරක්
මිනිස්සුන්ට ලොකුම අභියෝගය වුණේ රටේ තියෙන අභියෝග එක්ක මේ කාලවකවානුවේ මානසික සුවය පවත්වගෙන යන එක. මගේ අත්දැකීම අනුව වෙනත් වසරවලට සාපේක්ෂව මේ වසරේ මානසික ප්‍රතිකාර ගන්න ආපු ප්‍රමාණයේ වැඩිවීමක් තියෙනවා. මේ අතරේ ආර්ථික වශයෙන් එන්න එන්නම කඩාවැටෙද්දි මිනිස්සු අමතර ආදායමක් හොයන්නත් උත්සාහ කළා. අඩුගාණෙ ගෙවත්තෙ මොනවහරි වගා කරලා වේලක් හරි පිරිමහගන්න මිනිස්සු පෙළඹුණා.
ඒත් එක්කම මම දැකපු දෙයක් තමයි ඔය අතරේ විනෝදාස්වාදය උදෙසා පවත්වන විවිධ වැඩසටහන් වැඩි වුණා. ඒ අංශ ආදායමක් උපයන ගමන් මිනිස්සුන්ගේ මානසික සතුට වෙනුවෙන් දේවල් දුන්නා. දෙමව්පිය වැඩිහිටියො විතරක් නෙවෙයි ඇතැම් විශ්වවිද්‍යාල සිසුන් පවා අධ්‍යාපන කටයුතු කරන අතරේ පොඩි පොඩි ව්‍යාපාර වැඩ පටන්ගත්තා අපි දැක්කා. මේ වගේ තමන්ගෙ අභියෝගවලට මුහුණ දෙන්න මිනිස්සු නොයෙකුත් උපක්‍රම යෙදුවා.
අභියෝගයට අභියෝගයක් වෙන්න
ඔය අතරේ මම ඉතාමත්ම හොඳ දෙයක් මේ මිනිස්සු අතරින් දැක්කා. අභියෝග දැනෙන්න දැනෙන්න මිනිස්සුන්ගේ හදවත් වෙනදට වඩා උණු වෙන්න පටන්ගත්තා. මිනිස්සු එකිනෙකාට උපකාර කරගත්තා. තව කෙනෙක්ව උපකාර කරන්න පෙළඹෙව්වා. මේ දේවල් පුද්ගලයො හැටියටත් කණ්ඩායම් හැටියටත් සිද්ධ වුණා. පාසල් උපකරණ, ආහාර පාන වෙනුවෙන් අපි පුළුපුළුවන් විදිහට එකතු වෙලා උදව්පදව් කළා.
මිනිස්සුන්ම අභියෝගවලට මුහුණ දෙන්න රටක් හැටියට එකමුතුකමක් නිර්මාණය කරගත්තා. ඉතින් 2024 අවුරුද්ද 2023 අවුරුද්දට වඩා අභියෝගවලින් පිරුණු අවුරුද්දක් වෙනවට කිසිම සැකයක් නෑ. ජීවන අරගලය තවදුරටත් වැඩි වෙයි. ඒ නිසා මේ අවුරුද්දේ මිනිස්සු විදිහට අපි කරපු හොඳ දේවල් ලබන අවුරුද්දෙදි වැඩිදියුණු කරගන්න ඕනෙ.
දරුවන්ට පවුලේ අපහසුතා ගැන වැඩියෙන් පැහැදිලි කරන්න
ඒ වගේම දරුවන්ට වැඩියෙන් අරපිරිමැස්ම, පවුලේ අපහසුතා ගැන තේරුම්කරලා දෙන්න. නමුත් ඔවුන්ට මානසිකව වැටෙන්න දෙන්නත් එපා. පුද්ගලයා, පවුල, රට ඔය විදිහටනේ මේ චක්‍රය යන්නෙ. ඉතින් පුද්ගලයා විදිහට අපි හැදුණොත් ඊටපස්සෙ පවුල ලස්සනට ගොඩනගාගන්න පුළුවන්. ඊටපස්සෙ පුළුවන් සමාජය සහ රට ගොඩනගාගන්න.
පුද්ගලයෙක් හැටියට බලනකොට අපි ගොඩක් වෙලාවට කරන්නෙ එක එක්නෙකාට අවලාද නගමින් කාලෙ නාස්ති කරන එක. අවලාද නගන කාලය, ඒ ශක්තිය අලුතින් යමක් කරන්න පාවිච්චි කරනවනම් ඒක අපිට ජාතියක් හැටියට ඉස්සරහට යන්න හොඳ අඩිතාලමක් වේවි.
ණයනම් ගන්න එපා
මේක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනෙ දෙයක් ණය ගන්න එක පුළුවන්තරම් නවත්තන්න. උපයපු නැති මුදල් කවදාවත් වියදම් කරන්න එපා. ඒ නිසා එදිනෙදා වියදම්වලට ණය ගන්න මානසික මට්ටමින් මිදිලා පවුලක් හැටියට උපයලා වියදම් කරන්න පුරුදු වෙන්න. යම් දෙයකට වැඩියෙන් වියදම් කරන්න ඕනෙනම් මහන්සි වෙලා උපයගන්න. මුලින්ම තමන් තමයි තමන්ගේ අභිමානය ගොඩනගාගන්න ඕනෙ.
අධ්‍යාත්මික සුවය වෙනුවෙනුත් කාලයක් යොදවන්න
අධ්‍යාත්මික සුවය කියන දේ අපේ ගොඩක් මිනිස්සු අත්හැරලා දාලා තියෙන්නෙ ඒ නිසා මේ වෙලාව සහ එළඹෙන වසර හොඳ වෙලාවක් අපිට ඒ අධ්‍යාත්මික සුවය ගැන හිතන්න. මොකද එතනදි අපිට ජීවිතේ කඩාගෙන වැටෙන්නෙ නැතුව හොඳ මනසක් තියාගෙන ජීවිතේ ඉස්සරහට අඩියක් තියන්න මාර්ග හමුවෙනවා. හැම ආගමකින්ම හැම දර්ශනයකින්ම කියලා දෙන්නෙ ඒක. ඉතින් ජීවිතේ වෙනසකටත් එක්ක පීඩාකාරී වාතාවරණයෙන් මිදිලා තමන්ගෙ අධ්‍යාත්මික සතුට වෙනුවෙනුත් පුංචි හෝ කාලයක් වැය කරනවනම් ඒක නව වසර නැවුම්ව ආරම්භ කරන්නත් හොඳ විදිහක්.
මනෝ චිකිත්සක මනෝ උපදේශිකා
රොෂානි පීරිස් වික්‍රමසිංහ
එරංදි කෞශල්‍යා ✍️