දැන් උදාවෙලා තියෙන්නෙ මේ අවුරුද්දෙ අන්තිම දින කිහිපය. හැමෝම තමන්ගෙ ගෙවල් දොරවල්වල පෙනුම අලුත් කරගන්න මහන්සි වෙන කාලයක්. තමන්ගේ නිවසේ පෙනුම අලුත් කරගන්න මූලිකවම අපි කරන වැඩක් තමයි ගෙදර අලුතින් පේන්ට් කරන එක. සමහරු මේ පේන්ට් වැඩේ තමන්ම තනියෙන් හෝ ගෙදර අයගෙ උදව් ඇතිව කරනවා. ප්‍රොෆෙෂනල් පේන්ටර් කෙනෙක් තීන්ත ගෑවා වගේ කොලිටි එකකට තමන්ගේ ගෙදර පේන්ට් කරගන්න නම් ඔබ අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් තිබෙනවා.
ගෘහ භාණ්ඩ සහ ආලෝක තත්ත්වය ගැන අවධානය යොමු කරන්න…
තීන්ත මිලදී ගන්න කඩයකට ගියාම අපේ හිතට ආසා හිතෙන තීන්ත වර්ග සහ වර්ණ රැසක් අපිට දකින්න ලැබෙනවා. හැබැයි එහෙම දැක්ක ගමන් ආසාවට හදිස්සි වෙලා තීන්ත මිලදී ගන්න එපා. මුලින්ම කල්පනා කරලා බලන්න ගෙදර තියෙන ගෘහ භාණ්ඩවලට මේ තීන්ත වර්ණ ගැලපෙනවද කියලා. මොකද තීන්ත ගෑවට පස්සේ ඒවා සහ ගෙදර බඩු අතර ලොකු නොගැළපීමක් තිබුණොත් ආයෙත් ගෘහ භාණ්ඩ අලුතින් ගන්න අපිට බැහැ. අන්න ඒ නිසා තමන්ගේ ගෘහ භාණ්ඩවල වර්ණයන්ට හොඳට ගැළපෙන, ඒවායේ පෙනුම තවත් ඔප මට්ටම් කරන වර්ණ තේමාවන් ඔස්සේ තීන්ත තෝරාගන්න.
මෙතැනදී ගෙදර ආලෝක තත්ත්වය ගැනත් හිත යොමු කරන්න. විදුලි බුබුළුවලින් හරි හිරු එළියෙන් හරි නිසි පිරිදි ආලෝකමත් වෙන්නෙ නැති තැනකට අඳුරු වර්ණයක් ආලේප කළොත් කළුවර ගුහාවක් වගේ පෙනෙයි. අන්න ඒ විදිහේ ප්‍රශ්නවලට හොඳ විසඳුම් දෙන තීන්ත වර්ග දැන් වෙළඳපොළේ තියනවා. ආලෝක තත්ත්වය සහ ඉඩකඩ (Light and space) ඉහළ නංවන විදිහට නිර්මාණය කරපු විශේෂ තීන්ත වර්ගයක් මිලදී ගන්න පුළුවන්. මේ වර්ගයේ තීන්ත වර්ගයකින් ආලෝකය අවශෝෂණය නොකර වැඩිපුර පිටකරමින්, වැඩි ආලෝක තත්ත්වයක් සහ ඉඩ කඩක් පෙන්නුම් කරනවා.
ලස්සන Theme එකක් ගැන හිතන්න…
ඉස්සර වගේ තනි පාටින් මුළු ගෙයක් පාට කරනවට වඩා විවිධ බිත්තිවලට විවිධ වර්ණ යොදනවා. විවිධ හැඩතල සහිතව තීන්ත ගානවා. ඒවායෙන් පුළුවන් ගෙදර පෙනුම ඉතාම ප්‍රියමනාප විදිහට ඉහළ දාන්න. ඉතින් තමන්ගේ නිවසට ගැළපෙන සහ තමන් ආස කරන මේ විදිහේ වර්ණ තේමාවන් කිහිපයක් අන්තර්ජාලය සහ සඟරා ඇසුරින් හොයාගන්න. අපි කලින් කියපු නිවසට ගැළපෙන වර්ණ තේමාවන් ඔස්සේ මේ තෝරාගැනීම් කරන්න.
එහෙම කරලා තමන් තෝරාගත් තේමාවට අනුව තීන්ත ආලේප කරන කාර්යය සැලසුම් කරන්න. හොඳ තත්ත්වයේ තීන්ත වෙළඳ නාම විසින් මේ වෙද්දී නොයෙකුත් වර්ණ රටාවන් සහිත තීන්ත වර්ග වෙළඳපොළට නිකුත් කරලා තියනවා. උදාහරණයක් හැටියට මාබල්, ලිනන් වගේ පෙනුමක් ලබාදෙන තීන්ත වර්ග දැන් වෙළඳපොළේ තියනවා. ඉතින් අලුත් Theme එකක් තෝරාගන්න ඔබට මේ විදිහේ තීන්ත වර්ගවලින් ලොකු සහායක් ලැබේවි.
කාලගුණ තත්ත්වය ගැනත් හිතන්න…
තීන්ත ගාන්න පටන් ගන්න කලින් ඒ දවස්වල පවතින කාලගුණ තත්ත්වය ගැනත් හිත යොමු කරන්න. මොකද වැසි සහිත සීතල දවසක තීන්ත ගානවා කියන්නේ තීන්ත වියැලෙන්න කල් ගත වෙනවා. ඒ වගේම ඒවාට වර්ෂාවෙන් හානි වෙන්න පුළුවන්. ඒ වගේ වුණොත් වැඩේට යන කාලය සහ මහන්සිය වැඩි වෙනවා වගේම සමහරවිට තීන්ත නාස්තියත් වැඩි වෙලා නිවසේ පෙනුමත් බාල වෙනවා. අන්න ඒ නිසා හොඳට හිරු එළිය සහිත උණුසුම් දවසක් මේ විදිහේ වැඩකට තෝරගන්න.
එකපාර තීන්ත ගාන්න පටන් ගන්න එපා
සමහරුන්ට තීන්ත ගෙනාපු ගමන් ඉවසිල්ලක් නැහැ. හැබැයි කොයි තරම් ආසා වුණත් ඒ වැඩේට හදිස්සි වෙන්න එපා. මොකද ඊට කලින් නිවසේ සහ බිත්තිවල සකස් කරන්න දේවල් ගොඩක් තියනවා. නිවසේ මකුළුදැල් එහෙම බැඳිලා තියනවා නම් ඒවා කඩලා දාන්න මුලින්ම. ඉන්පස්සේ නිවසේ බිත්තිවල තියන දූවිලි තෙත රෙදි කඩක් පාවිච්චි කරලා පිස දමන්න. නැත්නම් අලුතින් ගාන වර්ණවල නියම පෙනුමට බාධාවක් වේවි.
පතුරු ගැලවුණු තීන්ත වැලි කඩදාසියකින් ඉවත් කරන්න, බිත්තියේ කුහර සහ පැළුම් තියනවා නම් ඒවාට පොටි ආදිය ගාලා, කපලා පිළිවෙලක් කරන්න. සමහරු කැමතියි අලුතින් තීන්ත ගාන්න කලින් ප්‍රයිමර් තට්ටුවක් ආලේප කරන්න. ඒ විදිහේ දේවල් කරලාම අදාළ වර්ණය ගාන්න පටන් ගන්න. අලුත් බිත්තිවල තීන්ත ගාද්දි ඒ බිත්ති දිය සීරාවලින්, තෙතමනයෙන් සහ හිරු රශ්මියෙන් ආරක්ෂා කරවන හොඳ වෝටර් පෘෆින් ආලේපනයක් ගාන්නත් අමතක කරන්න එපා.
තීන්තවලින් වන හානිය අවම කරගන්න
තීන්ත ආලේප කරද්දී ආලේප ප්‍රදේශවලට අමතරව වෙනත් තැන්වලටත් ඒවා විසිරිලා යන එක වළක්වන්න අමාරුයි. අන්න ඒ නිසා තීන්ත ගාන තැන අසල තියන ගෘහ භාණ්ඩ සහ හානි වෙන්න පුළුවන් දේවල් ඉවත් කිරීම හෝ නිසි ආවරණ යෙදීම හෝ කරන්න ඕන. නිවසේ දොරවල අගුල් සහ බිම පත්තර කොළ මඟින් ආවරණය කරන්න පුළුවන්. තීන්ත ගාන සීමාවන් සලකුණු කරගෙන, දොර උළුවහු ආදිය තීන්ත ගෑවීමෙන් ආරක්ෂා කරන්න මාස්කින් ටේප් භාවිතා කරන්නත් අමතක කරන්න එපා. තීන්ත ගාන ඔබත් අත් පා හොඳින් ආවරණය වෙන ඇඳුමක් ඇඳගෙන, හිසට තොප්පියක් දාගෙන වැඩ අරඹන්න.
හොඳ තීන්ත වර්ගයක් තෝරාගන්න
කාලයක් තිස්සේ තමන්ට හුරු පුරුදු, වෙළඳපොළේ නම තියපු හොඳ වර්ගයක තීන්ත මිලදී ගන්න. එහෙම තීන්ත එකකින් ලැබෙන ෆිනිෂ් එක ඉතාම ඉහළයි. මේ විදිහෙ තීන්තවල පින්සල් පාරවල් හිටින්නේවත් වර්ණය අසමාන වෙන්නේවත් නැති නිසා වෘත්තීයමය පින්තාරුකරුවෙක් නොවන කෙනෙක්ට වුණත් ඉතාම ලස්සනට තීන්ත ආලේප කරගන්න ලේසියි.
හරි ක්‍රමයට තීන්ත ගාන්න
ලොකු පින්සල් සහ රෝලර්වලින් නිවසේ හැම පෘෂ්ඨයකම තීන්ත ගාන්න බැහැ. අන්න ඒ නිසා විවිධ ප්‍රමාණවලින් යුතු පින්සල් ඒ සඳහා මිලදී ගන්න. මේවාත් වෙළඳපොළේ තියෙන හොඳ වර්ගයකින් මිලදී ගන්න. නිවසක තීන්ත ගෑමේදී උඩ ඉඳන් යටට තමයි තීන්ත ගාන්න ඕනේ. ඒ කියන්නේ සිවිලිම, උඩ බිත්තිවල ඉඳන් පොළව දක්වා පහලට එන විදිහට. මේ ක්‍රමයට තීන්ත ගෑමේදී තීන්ත පහලට බේරිලා ආවත් ඒවා වැහෙන්න නැවත තීන්ත ගාන්න පුළුවන්කම තියන නිසා පිළිවෙල අතින් ඉහළයි. තීන්ත ගාද්දි පින්සල සම්පූර්ණයෙන්ම තීන්ත බාල්දියේ හුඟක් පොඟවන්නේ නැතිව පින්සලෙන් තුනෙන් දෙකක විතර කොටසක පමණක් තීන්ත තවරාගන්න මතක තියාගන්න.
අර්චිත ඉඳුවර ✍️