වසරක් ගෙවී තවත් අලුත් වසරක් උදා වෙනවා. අලුත් වසරක් කියන්නේ කාලය මනින මිණුමක් බැව් ඇත්ත. ඒ නිසාමදෝ අලුත් වසරක් පිළිගැනීමේදී එය පුද්ගල බද්ධව සිදු වෙන්නක්. සමහර අය මේ විදිහට කියනවා “අනේ අලුත් අවුරුද්ද කියන්නේ අපි මරණයට තවත් ළංවීමක් විතරයි.” එය ඇත්ත. ඒ වුණත් අපි මැරෙන බැව් දන්නා නිසාම ඒ ගැන සිතමින් ජීවිතය දෙස උදාසීනව බැලීම එතරම් සුදුසු නැහැ. බොහෝ අය හිතන්නේ බුදුදහම යනු ජීවිතයේ අනිත්‍යතාව මත පදනම් වූ ඉගැන්වීම් සමුදායක් විදිහට වුණත් බුදුරජාණන්වහන්සේ අපේ දෙලොව සුබ සිද්ධියටම හේතු වෙන කරුණු කාරණාවන් දේශනා කර තිබෙනවා. ඒ නිසා වසරක් උදා වනවිට අපි එය යථාර්ථවාදීව තේරුම් ගැනීම වැදගත්…
කිරි ඉතිරේවා නව වසරේ…
මේ අතර තවත් පිරිසක් නව වසර දෙස ඉතාම උද්යෝගයෙන් බලනවා. අලුත් අවුරුද්දක අපිත් අලුත් වෙන්න ඕන. ජීවිතයට අලුත් විදිහට මුහුණ දෙන්න ඕන. මේ විදිහට සිතමින් නව වසර උදාවේදී කිරි උතුරවා, කිරිබත් පිස තම තමන්ගේ ආගමික සිද්ධස්ථාන වෙත ගොස් ආශිර්වාද ලබන පිරිසක්ද සිටිනවා.
කිරි කියන්නේ සශ්‍රිකත්වයේ සංකේතයක්
කිරි සශ්‍රිකත්වයේ වගේම සෞභාග්‍යයේ සංකේතයක්. බුද්ධකාලීන භාරතයේ පවා ආර්ථික ශක්තිය මැනීමේදී ඔවුන් සතුව ඇති පශු සම්පත එක් මානයක් සේ සලකා තිබෙනවා. බුදුරජාණන්වහන්සේ ඇතැම් ගාථාවන්හි පවා මේ අන්දමින් උපමා දක්වා පශු සම්පතේ වටිනාකම ගැන දේශනා කරනවා. සුබ කටයුතුවලදී කිරි ඉතිරිවීමේ සම්ප්රදායක් අපේ සමාජයේ පවතිනවා. ඒ වගේම දරුවෙකුගේ උපතේදී රංකිරි කට ගෑම, ගෙට ගෙවදින විට කිරි ඉතිරිවීම, විවාහ මංගල්‍යකදී කිරි වීදුරුවක් සහිතව මවගේ පැමිණීම, පෝරුවේදී මනාල යුවළ එකිනෙකා කිරි පානය කිරීම වැනි සම්ප්‍රදායන් මගින් කිරි යනු සුබ සංකේතයක් ලෙසින් සමාජ සම්මත චාරිත්‍ර අතරට එක්වනවා.
ගොපල්ලෙකු තම ගවයන් රක්ෂා කරන සේ මෙහිදී බුදුරජාණන්වහන්සේ පශු සම්පත වෙනුවෙන් ගොපල්ලකුගේ පැවැති අවධානය උපමාවට පවා ගෙන තිබෙනවා. ඒ වගේම කිරිබත් ගැන සැලකුවත් බෝසතාණන් වහන්සේට සුජාතා සිටු දියණිය විසින් කිරි පිඬු දානය පූජා කිරීමත් බෝසතාණන් වහන්සේ පාත්‍රය නේරංජනා ගංගාවේ පා කරමින් යම් ලෙසකින් මේ පාත්‍රය උඩුගං බලා ගියොත් මා බුදුවන අධිෂ්ඨානය ඉෂ්ට වෙන බැව් ප්‍රාර්ථනා කළ සේක.
සැබැවින්ම පාත්‍රය උඩුගං බලා ගිය අතර වෙසක් පුර පසළොස්වක පොහොය දිනයේදී සිදුහත් බෝසතාණන්වහන්සේ බුද්ධත්වයට පත් වූ සේක. පස්වගමහණුන් අතරින් කොණ්ඩඤ්ඤ තාපසතුමා දම්සක් පැවැතුම් සුත්‍ර දේශනාව අසා සෝවාන් බවට පත් වූයේ පෙර විපස්සී බුදුරජාණන්වහන්සේට ගිතෙල්, මීපැණි හකුරු යෙදි ඇල්හාලේ කිරිබතක් පිළිගැන්වීමේ කුසල විපාක නිසාය.
මානසිකව සුබවාදී වීම
මේ අන්දමින් නව වසරක උදාවේදී කිරි උතුරවා කිරි බතක් පිසීම මගින් අපේ සිත්වල අලුත් බවක් ඇති වෙනවා. එය අපි නොදැනීම ඇතිවන මානසික ශාන්තියක්. අපේ ජීවිතයේ සිත ප්‍රධානයි. සිතේ සතුට ජීවිතයේ ශක්තිය ඇතිකරන්නා සේම නිරන්තරව සිතේ ඇතිවන පසුතැවීම අසාර්ථකත්වයට හේතු වනවා. ඒ නිසා නව වසරක උදාවේදී කිරි උතුරුවා කිරිබතක් පිස ආගමික සිද්ධස්ථාන වෙත ගොස් පුජ්‍ය ප්රසාදීන්ගේ ආශිර්වාද ලබාගැනීම සමග සිතේ ඇතිවන නැවුම් බව සමග එළැඹි නව වසරට සාර්ථක ලෙසින් මුහුණ දීමේ ශක්තියක් ඇතිවනවා.
කිරි ඉතිරීම පමණක් ප්‍රමාණවත්ද?
නව වසරක උදාව සමග කිරි උතුරුවා රස බොජුන් පිස ඒවා සතුටින් බුත්ති විඳීම පමණක් ප්‍රමාණවත් නැහැ. අලුත් වසරක් සමග ඔබ ජීවිතයේ අරමුණු ගොඩ නගාගැනීම වැදගත්. ඒ වගේම බුදුරජාණන්වහන්සේ දේශනා කළ පරිදි අප්‍රමාදීව කටයුතු කිරීමත් ඉතා වැදගත්. අද බොහෝ අය වසරක් ආරම්භයේදී සිතේ අරමුණු ඉලක්ක ගොඩනගා ගත්තත් ඒවා සතියකින් දෙකකින් ඉබේටම ඔවුන්ගෙන් ඈත්වනවා. නමුත් බුදුදහම තුළ අපට පෙන්වා දෙන පරිදි අප්‍රමාදීව කටයුතු කරන්නේ නම් අපේ ජීවිතයේ බොහෝ ඉලක්ක ඉතාම පහසුවෙන් ජයගත හැකි වනු ඇත.
කාලය කළමනාකරණය කරන්න
ජීවිතයේ බොහෝ කටයුතු අපටත් නොදැනීම මග හැරෙන්නේ කාලය කළමනාකරණය කිරීමේ සැලසුමක් නොමැති නිසාය. කාල කළමනාකරණයේදී බුදුරජාණන්වහන්සේ දවස බෙදාගත් අයුරු අප දන්නවා. පෙරබත් කිස, පසු බත් කිස, පෙරයම් කිස, පසුයම් කිස, ලෙසින් දවස කොටස් පහකට බෙදාගත් සේක. ගිහියකු වුණත් ඔබට වසර මනා සේ සැලසුම් කරගැනීමේ අවස්ථාව ඇත. ඔබ වසරක් තුළ ගොඩනගාගත් අරමුණු ඉටුකර ගැනීමේදී කාලය සමග ගළපාගෙන කටයුතු කරන්න.
කාලය නිකරුණේ ගෙවන්න එපා
කාලෝ ඝඝති භුතානි-සබ්බානේච සහත්තතා
කාලය තමාද විනාශ කරන අතර අනිත් සත්ත්වයන්ද විනාශ කරයි.මේ බුද්ධ දේශනාවයි. ඒ වගේම අද කාලය ගැන විවිධ අදහස් ඉදිරිපත් වී තිබෙනවා. ඔබට පැය ඉතිරි කරගත හැක්කේ මිනිත්තු ඉතිරි කරගතහොත් පමණි. මේ අනුව පෙනී යන්නේ ඔබ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගත යුතුයි. කාලය විනාශ කරන පුද්ගලයාගේ ගති පැවැතුම් බුදු රජාණන්වහන්සේ මෙසේ දක්වා තිබෙනවා.
දැන් දිවා කාලය යැයි කටයුතු මගහැරීම
දැන් රාත්‍රි කාලය යැයි කටයුතු මගහැරීම
දැන් කුසගිනි යැයි කටයුතු මගහැරීම
දැන් කුස පිරී ඇතැයි කටයුතු මගහැරීම
දැන් සීතල යැයි කටයුතු මගහැරීම
දැන් උෂ්ණ යැයි කටයුතු මගහැරීම
මේ අන්දමින් කළ යුතු දෙය කල් තබමින් කටයුතු කිරීම ජීවිතයේ පසුගාමීත්වයට හේතුවන බැව් බුදුරජාණන්වහන්සේ විසින් පෙන්වා දුන් සේක. ඒ නිසා වසරක් උදාවීමත් සමග ඔබේ සිතේ ඇතිවුණ චිත්ත ප්රබෝධය වසර පුරාවටම පවත්වා ගැනීමට හැකියාවක් ලැබෙනවා.
සම්මා වායාම අනුව කටයුතු කරන්න
ඒ වගේම ඔබ සම්මා වායාම හෙවත් නිවරැදි උත්සාහයෙන් කටයුතු කරන්න. එවිට ඔබේ ජීවිතයේ පසුගිය වසරේ පවත්වාගෙන ආ කටයුතු තවදුරට සංවර්ධනය කරගැනීමටත් මගහැරුණ කටයුතු ඉෂ්ටකර ගැනීමටත් අවස්ථාව ලැබෙනවා. එමෙන්ම අලුත් කටයුතු වෙනුවෙන් යොමුවීමට වගේම ඔබ යම් තැනක අසාර්ථක වුණාද මේ වසරේ ඒ වැටුණ තැනින් නැගිටීමට උත්සාහ කරන්න.
වසර අවසානයේදී ආවර්ජනය
ඔබ වසර ආරම්භයේදී බොහෝ දේ සැලසුම් කරන්නට ඇති. ඒවා ක්‍රියාත්මක කිරීමේදී විවිධ බාධක ඇති වෙන්නටද ඇති. බාධක සමග ඔබ ගනුදෙනු කළ අන්දම ආවර්ජනය කරන්න. සැබෑ උත්සාහවන්තයා වීර්යය අත හරින්නේ නැත. බෝසතාණන් වහන්සේ මහා කාන්තාරයක ඊතන පඳුරක් දැක වතුර තිබෙන නිමිති ගැන සිතා මහ කළු ගලක් දෙබෑ වෙන තෙක් වතුර සොයා සිදුකරන ලද මෙහෙයුම ගැන බෝසත් කතා කියවන ඔබ දන්නවා ඇත.
ගිහි පින්වතුන් ලෙස ඔබ උත්සාහය අත් නොහරින්න. නව වසරක හිතේ ඇතිවුණ ජවය ඒ අන්දමින්ම වසර පුරාවටම පවත්වා ගන්න. වසර අවසානයේදී නැවත ආවර්ජනය කරන්න. ඔබේ සාර්ථකත්වය ඔබටම දැනගැනීමටහැකිවනවා. වසරක ආරම්භය කියන්නේ කැලැන්ඩරයේ කොළය අලුත් වීම පමණක් නොවේ. ජීවිතය දෙස අලුතෙන් බලන්න.
කිවියර සහ ගීත රචක-ශාස්ත්‍රපති පූජ්‍ය
මහගම සීලානන්ද
ස්වාමින්වහන්සේ
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️