මූල්‍ය සාක්ෂරතාව පිළිපදින්න
2024 නව වසර ආරම්භ වීමට තව දින දෙක තුනයි. අපි මේ ගතකරන්න පටන්ගන්න සූදානමින් ඉන්නෙ ආර්ථික වශයෙන් ඉතාම අභියෝගාත්මක කාලයක්. අපි හැමෝගෙම ආදායමට වඩා වියදම ඉහළ ගිහින් තියෙන්නේ. ඉතින් මේ ආර්ථික අභියෝගය හමුවේ පවුලේ ආර්ථිකය වගේම තමන්ගේ මුදල් පසුම්බිය කලමනාකරණය කරගත්තොත් ඔබට මේ අභියෝගයට මුහුණ දෙන්න පුළුවන්. මම මේ ලිපියෙන් අදහස් කරන්නෙ ඔබ මුහුණ දෙන්න සූදානම් වන ආර්ථික අර්බුධයට පුංචි හෝ සහනයක් සලස්වන්න.
ඇත්තම කතාව අපි කාටවත් මේ වගේ ප්‍රශ්නයකට ක්ෂණික කෙටි උත්තරයක් හොයන්න බෑ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. එතකොට අපිට යම්කිසි ක්‍රමවේදයක් අනුගමනය කිරීම හරහා පවුලේ පවතින ආර්ථිකය පිළිබඳ ප්රශ්නය මුලින් කළමනාකරණය කිරීමත් ඉන් අනතුරුව ඒ කළමනාකරණය හරහා දිගු කාලීනව මූල්‍ය සුරක්ෂිතතාවය වර්ධනය කර ගැනීමත් තමයි අපේක්ෂා කරන්න ඕනේ. ඒ වගේම අපි මේ මොහොතේ මූල්‍ය වශයෙන් ඉතාම දුෂ්කර අවදියක් ගත කරනවනම් එහි අරුත තමයි අපේ වියදම් රටාවන්හි යම් වෙනසක් කරගත යුතුයි කියන එක…
මූල්‍ය සාක්ෂරතාවය ගැන ඉගෙනගන්න
ලංකාවේ අපිට පාසලේදී උගන්වන්නෙ නැති, එහෙත් ඉතා ප්‍රායෝගික විශයන් කිහිපයක් තියෙනවා. එයින් එකක් තමයි මූල්‍ය සාක්ෂරතාවය. මූල්‍ය සාක්ෂරතාවය කියන්නෙ ආදායම් හා වියදම් කළමනාකරණය කරගැනීම පිළිබඳ දැනීම. මේක ලංකාවේ ජනගහනයෙන් 98%කට විතර ජීවිතයේ කවදාවත් ඉගෙනගන්න ලැබෙන්නෙ නෑ. ඉතින් මේ විෂය ගැන කිසියම් ඥාණාත්මක හෝ ප්‍රායෝගික දැනුමක් නැති වුණොත් අපි කොතරම් මුදල් ඉපැයුවත් අවසානයේ ගතකරන්න වෙන්නෙ ආර්ථික වශයෙන් අපහසු ජීවිතයක්.
මූල්‍ය සාක්ෂරතවයේදී දැනගත යුතු දේ
2024 වසරේදී ආරම්භයක් අරගෙන මූල්‍ය සුරක්ෂිත අනාගතයක් උදාකරගන්න අපි විසින් පිළිපැදිය යුතු පුංචි කරුණු කිහිපයක් තියෙනවා. පළමු කරුණ තමයි අපිට ජීවිතයේ ප්‍රශ්නයක් ඇතිවුණාම අපි ගොඩක් වෙලාවට කරන්නේ මැසිවිලි නගමින්, ඒ ගැන කලකිරිලා, කාටහරි එහි වගකීම පවරමින් ජීවත් වෙන එක. උදාහරණයක් විදිහට ගත්තොත් මේ මොහොතේ රැකියාවක් කරන කෙනෙක් නම් ලැබෙන වැටුප ජීවත් වෙන්න මදි නම් ගොඩක් වෙලාවට එහි ප්‍රධානීන්ට, රටට වගේම බඩු මිල වැඩි කළ රාජ්‍ය නිලධාරීන්ට දොස් පවරමින් ජීවත්වන්න පටන් ගන්නවා.
මනෝවිද්‍යාවට අනුව දොස් පැවරීම නිසා වෙන්නේ සිතුවිලි සහ මනස සෘණාත්මක භාවයට පත්වීමක්. ඉතින් මැසිවිලි නැගුවා කියලා කලකිරීමෙන් හිටියා කියලා අපේ ආර්ථික ප්රශ්නය විසඳෙන්නේ නෑ. ඒකෙන් ඇත්තටම වෙන්නේ අපිට යම්කිසි මාවතක් පේන්න තිබුණත් ඒකත් නොපෙනී යන එක. ඒ නිසා ඔබ මූල්‍ය වශයෙන් සුරක්ෂිත අනාගතයක් නිර්මාණය කරගන්න අපේක්ෂා කරනවා නම් පළමු කාරණය තමයි වරද කවුරු කරලා තිබුණත් දැන් ඒක වෙලා ඉවරයි කියලා හිතලා වෛරීකාරී සිතුවිලි වලින් බැහැර වෙන එක.
අඬ අඬා හිටියට ගැටලු විසඳෙන්නෙ නෑ. මෙන්න යෝජනා
රැකියාවේ ප්‍රශ්නයක් තියෙනවා නම් ආයතන ප්‍රධානියා එක්ක කතා කරන්න. ගැටලුව විසඳගන්න උත්සාහ කරන්න. ආයතනය ඇතුළෙ ඔබට රැකවරණයක් නැත්නම් ඔබට හිතනවා නම් මීට වඩා වැටුපක් ලබන්න ඔබ සුදුසුයි කියලා එවැනි තැනක රැකියාවක් හොයාගන්න. එහෙම නැතුව ආයතනය තුළටම වෙලා දොස් පවරමින් ඉන්න එකෙන් ඔබට සෙතක් වෙන්නේ නෑ. අසතුටින් ඉන්නකොට වෙන්නෙත් අතේ තියෙන මුදල වියදම් වෙන එකම තමයි.
උදාහරණයකට ඔබ නිතර දෙවේලේ අසතුටින් ඉන්න කෙනෙක් නම් ලෙඩ රෝග හැදීමේ සම්භාවිතාව වැඩියි. ඒ වගේම රැකියාව නිසා දුකින් කලකිරීමෙන් ඉන්නකොට ආයතනයේ සේවකයන් එක්ක ගැටුම් පවා ඇතිවෙනවා. මෙවැනි දේවල් නිසා ඔබට ඔබේ රැකියාව අහිමි වෙන්නත් පුළුවන්. ඒ නිසා අලුත් අවුරුද්දේ මුලින්ම හිතාගන්න හැමදේටම මැසිවිලි නගමින් ඉන්න එකෙන් වැළකෙනවා කියලා.
දෙවෙනි යෝජනාව තමයි ලැබෙන ආදායම ජීවත් වෙන්න මදි නම් ඒ මදිපාඩුව හොයාගන්නේ කොහොමද කියන එක ගැන හිතන්න ඕනේ. මේකත් ඒක රැයකින් කරන්න බෑ. නමුත් මම ඔබට අභ්‍යාසයක් කියලා දෙන්නම්. ඔබ හැමදාම පාන්දර පහට විතර නැගිටින්න. ඊටපස්සෙ සුදු පාට කොලයක්, පෑනක් අරගෙන ඔබට නිදහස් තැනක වාඩිවෙන්න. ඊටපස්සෙ ඔබට ලැබෙන වැටුපට අමතරව අවශ්‍ය හිඟ මුදල කොළය උඩ ලියන්න. පස්සෙ කල්පනා කරලා බලන්න මට දැන් තව මෙච්චර ගාණක් හොයාගන්න ඕනෙ.
රැකියාවට හානියක් කරගන්නෙ නැතුව මට මේ අඩු මුදල හොයාගන්න තියෙන මාර්ග මොනවද කියලා හිතන්න. එහෙම හිතනකොට ඔබේ හිතට එන සියලු අදහස් අර කොළේ ලියන්න. සමහරවිට පළමු දවසෙ දෙවෙනි දවසෙ ඔබට මුකුත් අදහසක් නොඑන්න පුළුවන්. හැබැයි කාලයක් ප්‍රගුණ කරගෙන ඉස්සරහට යනකොට හොඳ අදහස් ඔළුවට එයි.
තුන්වෙනි යෝජනාව ඔබේ හෘදසාක්ෂියට එකඟව මුදල් උපයන මාර්ගයක් හොයාගන්න. ඊටපස්සෙ ඔබේ අතේ තියෙන මුදල් අඩුවෙන්ම වියදම් කරන්න පුළුවන් විදිහකට ඒ අදහස ක්‍රියාත්මක කරන්න පටන්ගන්න. උදාහරණයක් විදිහට ඔබ ගණන්වලට දක්ෂ නම් රැකියාවට ගොස් ගෙදර ඇවිත් පැය දෙකක් විතර වැය කරලා දරුවන්ට උගන්වන්න. කේක් හදන්න පුළුවන් නම් සති අන්තයේ ඒක කරන්න.
ගායන හැකියාවක් තියෙනවා නම් හොටෙල් එකක රැකියාවක් හොයාගන්න. ඔළුවට එන අදහස පොඩියට ක්‍රියාත්මක කරන්න. සමහරවිට ඔබ පුංචියට පටනන්න ව්‍යාපාරය ටික කාලෙකින් ලොකු ව්‍යාපාරයක් කරගන්න පුළුවන් වේවි. ඔබට ව්‍යාපාරයට තව අලුත් දේවල් එකතු කරන්න හිතෙයි. මෙහෙම යද්දි ඔබට රැකියාවක් කරමින් ලබපු ආදායමට වඩා වැඩි ආදායමක් ඉපයෙන විදිහට මාර්ගය සැකසේවි.
තවත් කොටසක් ලබන සතියේ
එරංදි කෞශල්‍යා ✍️