මගී ප්‍රවාහන සේවාවන් ගැන කවුරුත් කතා කරන්නේ එතරම් ප්රසාදයකින් නෙවෙයි. මගියෙක් බසයට නංවා ගැනීමට දක්වන උනන්දුව ඒ මගියා බස් රථයෙන් බහින විට නොදක්වන බවට බොහෝ විට චෝදනා තිබෙනවා. ඒ වගේම මගීන් වෙනුවෙන් කිසිදු පහසුකමක් නොමැති පෞද්ගලික බස් රථ වෙනුවෙන් නිතරම චෝදනා එල්ල වෙනවා.
තත්ත්වය එසේ වුණත් පසුගිය කාලවකවානුව තුළ බොහෝ පෞද්ගලික බස් රථ හිමියන් විසින් ඔවුන්ගේ බස් රථ ඉතා අලංකාර අන්දමින් නිර්මාණය කිරීමට උනන්දු වුණා. එවැනි වාතාවරණයක් තුළ පෞද්ගලික බස් රථ හිමියෙකුගේ අපූරු නිර්මාණයක් මේ විදිහට ප්‍රවාහන මාධ්‍යට එක් කර තිබෙනවා. මේ අලුත්ම සංකල්පය ගැන අපි ඔහුත් සමග කතා කළා.
නම වෙනුෂ්ක රාජගුරු වන මම කුරුණෑගල මලියදේව විද්‍යාලයෙන් උසස් පෙළ හදාරා එතැනින් පසුව රැකියාවක් වෙනුවෙන් ජපානයට ගියා. ජපානයේ වසර තුනක් රැකියාවක නිරතව සිටියා. එයින් පසුව නැවතත් ලංකාවට ඇවිත් ඉන්ධන ප්‍රවාහන ව්‍යාපාරයක් වෙනුවෙන් යොමු වුණා. මේ අතර වාහන නවීකරණය ගැන මට ලොකු උනන්දුවක් තිබුණා. මුලින්ම මම ජීප් රථ නවීකරණය කළා. ඒ අතර මට මගී ප්‍රවාහනයට සහ චාරිකා වෙනුවෙන් බස් රථ මහජන පහසුකම් ඇතුව නිර්මාණය කිරීමේ අදහසක් ඇති වුණා.
“වෙනුෂ්ක ඔටෝ මෝව්ස්” එවැනි අන්දමින් නවීකරණයට පත් කරන ලද බස් රථ දෙකක් අද වනවිට හඳුන්වා දී තිබෙනවා.මේ බස් රථ අතර එක් බස් රථයක් චාරිකා වෙනුවෙන් සහ අනෙක් බස් රථය මගී ප්‍රවාහන සේවාවන් වෙනුවෙන් යොදවා තිබෙනවා.
මේ බස් රථවල වෙනස ගැන කතා කළොත්…
මුලින්ම බස් රථය ගැන සඳහන් කරනවා නම් මෙය ආසන 29 ක “රෝසා” බස් රථයක්. මම ඒ බස් රථය ආසන 18 කට සීමා කළා. ඒ විදිහට මම බස් රථය ඇතුළත ඉඩ ගත්තා. ලබා ගත් ඉඩ මම මගීන්ගේ පහසුකම් සැපයීම වෙනුවෙන් යොදා ගත්තා. වැඩි පිරිසක් සිර වෙලා වාහනයක ගමන් කරනවාට වඩා කීප දෙනෙකුට පහසුකම් සහිතව ගමන් කරන්න පුළුවන්.
මේ බස් රථයේ හැම ආසනයක්ම වෙනස් කරන්න පුළුවන්. පාද තබා ගැනීමේ පහසුකම් තිබෙනවා. බස් රථය ඇතුළත සියලු දේම දැව යොදාගෙන නිර්මාණය වී තිබෙනවා. ඒ වගේම විද්‍යුත් මෙවලම් භාවිතයට පහසු වෙන විදිහට හැම ආසනයකටම ජංගම දුරකථන චාර්ජ් කර ගැනීමට පෝට් එකක් තිබෙනවා. බස් රථයට නගින විට සංවේදන සහිත සනීපාරක්ෂක දියර යොදාගෙන අත් සෝදා ගැනීමේ පහසුකම තිබෙනවා.
කොවිඩ් කාලයේ අපට අත් සේදීම ගැන තිබුණ උනන්දුව දැන් නැහැ. නමුත් සනීපාරක්ෂක දියර ලබා ගැනීමේ පහසුකම් තිබෙනවා නම් මගීන් තමන්ගේ අත් සෝදා ගැනීමට උනන්දුවක් දක්වනවා. සංවේදන සහිත සනීපාරක්ෂක දියර ලබා ගැනීමේ පහසුකම නිසා අනාගතයේදී නැවතත් බෝවන රෝග තත්ත්වයක් ඇති වුණත් ඒ සඳහා අපි සූදානම්. ඒ වගේම විනෝද චාරිකාවකට හෝ වෙනත් ගමනක් සඳහා කණ්ඩායමක් එකතු වුණත් ඒ අයගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අපි දන්නේ නැහැ. වාහනයට ගොඩ වෙන්න පෙරාතුව අත් සෝදා ගැනීමේ පහසුකම් තිබෙන නිසා අපි වසංගත රෝග තත්ත්වයක් පැමිණියත් අපි සූදානම් බව කියන්න අවශ්‍යයි.
බස් රථයේ ශීතකරණයක්…
සංචාර වෙනුවෙන් යොද ගන්නා බස් රථයේ කුඩා ශීතකරණයක් තිබෙනවා. අතරමගදි තමන්ට අවශ්‍ය දෙයක් ගබඩා කර ගැනීමේ පහසුව ලැබෙනවා. ඒ වගේම දින දෙක තුනක සංචාරයකදී අවශ්‍ය කළමනා වර්ග පරිභෝජනයට සුදුසු පරිදි තබා ගැනීමටත් හැකියාව තිබෙනවා. ආහාර ගැනීමේදී කුඩා මේසයක්ද වීදුරුව තබා ගැනීමේ පහසුකම් වගේම රූපවාහිනියක් ලැප්ටොප් එකක් තබා ගැනීමේ පහසුකම් තිබෙනවා.
මයික් දෙකක්, Karoke වැනි පහසුකම් සපයා තිබෙනවා. wifi කලාපයක් තිබෙනවා. පිටත උණුසුම ඇතළට එන්නේ නැති විදිහට මේ රෝසා බස් දෙකම ටින්ටඩ් කර තිබෙනවා. මේ බස් එක “වෙඩින් හෝල් එකක්” කිව්වොත් හරි.
වාහනයේ විවිධ කොටස් එකතු කිරීමේදී ඇති වූ ගැටලු….
මේ සංකල්පය මගේ වුණත් බස් රථයට එක් එක් කොටස් එකතු කිරීමේදී ඒ වෙනුවෙන් පළපුරුද්ද සහ දැනුම ඇති ශිල්පීන් තෝරා ගත්තා. උදාහරණයක් විදිහට කිව්වොත් දැව කටයුතු වෙනුවෙන් ඒ සම්බන්ධ දැනුම ඇති අය තෝරා ගත්තා. මයික් ආදිය සවි කරන විට ඒ වෙනුවෙන් දැනුම ඇති අය සම්බන්ධ කර ගත්තා.
වාහනයේ රියදුරු මහතා වෙනුවෙන් පහසුකම්…
බස් රථයක නියමුවා රියදුරු අසුන බව කිව්වොත් නිවැරදියි. ඒ නිසා රියදුරු මහතා වෙනුවෙන් අවශය සියලු පහසුකම් සලසා තිබෙනවා.
මාර්ගයේ ධාවනය වන බස් රථය ගැන සඳහන් කළොත්…
මේ බස් රථය කුරුණෑගල – කොළඹ ධාවනය වන අධි සුඛෝපභෝගී බස් රථයක්. මගී ප්‍රවාහන බස් රථයක් කිව්වට මේ බස් රථයේත් මුල් බස් එකේ සඳහන් සියලු පහසුකම් සලසා තිබෙනවා. ගමන යන අතරවාරයේ සිංදුවක් කියන්න හිතුනොත් ඒ වෙනුවෙන් මයික් එකක් තිබෙනවා.
බස් රථයට මගීන්ගේ ආකර්ශනය
ඔව්, බස් රථය දුර ගමන් සේවාවේ යොදා ගෙන තිබෙනවා. මේ බස් රථයේ Jumping seat එක පවා මගීන්ට පහසුවෙන් වාඩි වෙලා යා හැකි අන්දමින් සකස් කරලා තිබෙනවා. මගියෙක් ජම්පින් සීට් එක තෝරා ගන්නේ ගමනේ අවශ්‍යතාවය අනුව කාලය වැදගත්. ඊළග බස් රථය වෙනුවෙන් තවත් කාලය ගත වෙනවා. ඒ හින්දා ඔවුන් අසීරුවෙන් වුණත් Jumping seat එක තෝරා ගන්නවා. නමුත් මේ බස් එකේ ආසන සැප පහසුකම් සහිතව තිබෙන නිසා කිසිම අපහසුවක් නොමැතිව ගමන් කරන්න පුළුවන්.
ඔබේ බස් රථයේ ගාස්තු
අපි පහසුකම් ලබා දුන්නා කියලා ගාස්තු වෙනස් කරන්න නැහැ. ඒ නිසා සාමාන්‍යයෙන් කුරුණෑගල -කොළඹ අපි අයකරන අධි සුඛෝපභෝගී බස් රථයක ගාස්තුව මිස පහසුකම් තිබුණාට මිල වෙනස් කරන්න බැහැ
මගීන්ගෙන් ලැබෙන ප්‍රතිචාර
බොහෝ දෙනෙක් මේ බස් රථයේ ගමන් කරන්න ප්‍රිය කරනවා. ඒ ඔවුන්ට ලැබී තිබෙන පහසුකම් නිසා. මේ තත්ත්වය නිසා තවත් දෙයක් සිදු වෙලා දුර ගමන් සේවාවන්හි තිබෙන අනිත් බස් රථ මගීන් වෙනුවෙන් පහසුකම් වැඩි දියුණු කිරීමට උනන්දුයි. ඒ වගේම දැනට මේ මගී ප්‍රවාහන බස් රථය මාස හයක පමණ කාලයක් ධාවනය වෙනවා. මගීන් විසින් බස් රථයට කිසිදු හානියක් කරලා නැහැ. ඒකත් සතුටට කාරණාවක්. සමහර විට ඒ බස් රථය ලස්සනට තියෙන නිසාම වෙන්නත් ඇති. හැම බස් රථයක්ම ලස්සනට තබා ගන්නවා නම් කිසිම කෙනෙක් හානි කරන්නේත් නැහැ. මේ තත්ත්වය අනිත් මගී ප්‍රවාහන බස් රථවලටත් පූර්වාදර්ශයක් වෙනවා.
ඔබට ලාභයක් තිබෙනවාද?
මට මේ නවීකරණයෙන් පසුව ධාවනයට යොදා ගත් බස් නිසා මට ලාභයක් නැහැ.
බස් රථයේ ප්‍රවේසම ගැන
මේ වෙන විට බස් දෙක ප්‍රවාහන සේවාවන් වෙනුවෙන් යොදා ගෙන මාස හයක් පමණ වෙනවා. ඉදිරියේදී තව “රෝසා” බස් එකක් සහ “ලේලන්ඩ්” බස් රථයක් නවීකරණය කිරීම මේ දිනවල සිදු වෙනවා. සාමාන්‍යයෙන් මේ විදිහට බස් රථයක් නවීකරණයට මාස හයක පමණ කාලයක් ගත වෙනවා. ඒ බස් රථයත් අනාගතයේදී මාර්ග ධාවනයට යොදා ගැනීමට බලාපොරොත්තු වෙනවා.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️